රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත් කිරීමේ සහ රෝගී සත්කාර සේවා දියුණුකිරීමේ වැඩපිළිවෙළක්

රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත් කිරීමේ සහ රෝගී සත්කාර සේවා දියුණුකිරීමේ  වැඩපිළිවෙළක්
  • SocialShare:

රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගිය දා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත  වූ අතර එම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහලේ වාට්ටු, සායන පරිශ්‍රය, බාහිර රෝගී අංශය,රසායනාගාරය, හදිසි ප්‍රතිකාර අංශය ඇතුළු අංශ නිරීක්ෂණය කරනු ලැබු අතර රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව සමග ද කතා බහක නිරත විය. එහිදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද විමසන ලදී.

නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පරිපාලනය සමග විශේෂ සාකච්ජාවක නිරතවූ  නියෝජ්‍ය අමාත්‍යවරයා රෝගී ප්‍රතිකාර සේවාවන් තවතවත් විධිමත්ව පවත්වාගෙන යාම සදහා ඔවුන්ගෙන් දීර්ඝව කරුණු විමසුවේය.

පවතින ගැටලු වලට විසදුම් ලබා දීමට ද පියවර ගත් නියෝජ්‍ය අමාත්‍යවරයා  එම මොහොතේ විසදුම් ලබා දීමට නොහැකි ගැටලුවලට ඊට අදාළ නිලධාරීන් දුරකතනයෙන් සම්බන්ධකරගනිමින් එම ගැටලු නිරකරණය කිරීමට ද එම මොහොතේම පියවර ගත්තේය.

මෙම අවස්ථාවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන වෛද්‍ය ලලිත් පෝද්දලගොඩ,වෛද්‍ය මනෝජ් ජයකොඩි,වෛද්‍ය සායි නිරන්ජන් යන මහත්ම මහත්මින් ඇතුළුව  පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය වන පරිදි  කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.