2025 වසරේදී ජාතික උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

2025 වසරේදී ජාතික උද්භිද උද්‍යාන  ආදායම රුපියල් බිලියනය ඉක්මවයි
  • SocialShare:

2025 වසරේ ජාතික උද්භිද උද්‍යානයන් හි උද්භිද විද්‍යාත්මක ආකර්ෂණයන්ගෙන් ලැබෙන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ අතර එය රු.බි. 1.394 ක් වන බවට ජාතික උද්භිද උදයාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යෑම සහ සංචාරක අංශයේ වර්ධනය මෙයට බලපා ඇත.

උද්භිද උද්‍යාන කරා සංචාරකයින්ගේ පැමීණීමේ මෙම වර්ධනය ඔවුන් අතර උද්භිද උද්‍යාන නැරඹීමේ උනන්දුව ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරන අතර, විදේශීය සංචාරකයින්ගෙන් ලද ආදායම සමස්ත ආදායමට එය දායක වී ඇත.

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උද්භිද විද්‍යාත්මක ගමනාන්තය වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සදහා මිලියන 1කට වඩා නරඹන්නන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇතැයිද ජාතික උද්භිද උදයාන දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම උද්භිද උද්‍යාන නැරඹීමට මිලියන 2කට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත.

සංචාරකයින්ගේ පැමිණීම උද්‍යානයන් හි ඇතුලුවීමේ ගාස්තු, ශාක අලෙවිය සහ ස්ථානීය පහසුකම් වැනි සේවාවන්ගෙන් වන ලැබීම් සහ අනෙකුත් අනුබද්ධ ආදායම්වල සැලකිය යුතු වර්ධනයට දායක වී ඇත.

මෙම වර්ෂයේදී ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් පවත්වා ගැනීමට උද්භිද උද්‍යාන නැරඹීම සදහා විදේශ සංචාරකයින් ගේ පැමිණීමේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා සංචාරක සංඛ්‍යාලේඛන පුරෝකතනයේ දී, ශ්‍රී ලංකාව තුළ සංචාරක ප්‍රතිසාධන (Recovery) උපාය මාර්ග වැඩිදියුණු කිරිම් මෙන්ම උද්භිද විද්‍යාත්මක ස්ථානවල නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා වන ආයෝජන හේතුවෙන් උද්භිද උද්‍යාන වෙත සංචාරකයින් ගේ ආකර්ෂණය ඉහළ යාමේ ප්‍රවණතාවය අනාගතයේ දි ද අඛණ්ඩව පැවතිය හැකි බව අපේක්ෂා කළ හැකිය.