ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීම උදෙසා මෙම සහනාධාර තේ පොහොර ලබාදීම නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරිමට තේ මණ්ඩලය විසින් රු. මිලියන 2,000 ක මුදලක් 2025 වර්ෂය සඳහා තේ ගොවින්ට ලබා දීමට වෙන් කර ඇත.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙරට තේ දලු නිෂ්පාදනය 75% ක් නිපදවන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් මෙම රු.මිලියන 2,000 ක පොහොර ප්‍රමාණය ලබා දීමට සැලසුම්කොට ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සදහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000.00 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ලැබේ. මෙම වැඩසටහන මගින් සහනාධාරලාභීන් වෙත QR කේතයක් ලබාදී රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කොට ඇත. එහි ආරම්භක වැඩසටහන සැප්තැම්බර් මස 26 වන සිකුරාදා දින ඉත්තෑපාන, ගලතර දි සිදු කෙරේ.


