දැවැන්ත ආපදාවෙන් පසු බෝවන රෝග පාලනයට මැදිහත් වූ සියලුදෙනාට ස්තුතියි

දැවැන්ත ආපදාවෙන් පසු බෝවන රෝග පාලනයට මැදිහත් වූ සියලුදෙනාට ස්තුතියි
  • SocialShare:

මෙවැනි දැවැන්ත ආපදාවකින් අනතුරුව පැමිණිය හැකිව තිබූ බෝවන රෝග පාලනයට මැදිහත් වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවකයන් ඇතුලු සියලුම දෙනාට ස්තුතිය පිරිනැමිය යුතු බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙවැනි ආපදාවකින් පසුව රටපුරා ඇතිවිය හැකි බෝවන රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කළ බව පැවසූ අමාත්‍යවරයා ගංවතුර පැවති කාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම වතුරේම යමින් මෙම රෝග වළක්වා ගැනීමට මැදිහත්වීම් සිදුකළ බවද අවධාරණය කළේය.

මී උණ, අතීසාරය, පාචනය සහ ඩෙංගු වැනි රෝග මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පාලනය වී ඇතැයිද ඩෙංගු රෝගීන් සහ ඩෙංගු මරණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව වැඩි වීමක් දක්නට නොමැති අතර සම තත්ත්වයක පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

තවදුරටත් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනවාරි මස මුල් සතියේ සියලු පළාත් පාලන ආයතනවල සහභාගීත්වයෙන් සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් පිරිසිදු කිරීම් කටයුතු සදහා දින කිහිපයක් වෙන් කර ඇතැයිද සදහන් කළේය. එම දින පිළිබදව ඉදිරියේදී පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කරනු ඇතැයිද පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද පරීක්ෂා කිරීම් සිදුකරමින් වාර්තා කිරීම් සම්බන්ධයෙන්ද සැලකිළිමත් වන බව වැඩිදුරටත් පැවසුවේය.