ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතිය දියුණු කරමින් සිනමා පාසලක් හා ජාතික සිනමා සංරක්ෂණාගාරයක් – ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි

ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතිය දියුණු කරමින්  සිනමා පාසලක් හා ජාතික සිනමා සංරක්ෂණාගාරයක් – ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි
  • SocialShare:

ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතිය දියුණු කිරීමට රජය කටයුතු කරන බවත්,  සිනමා පාසලක් සහ නව ජාතික සිනමා සංරක්ෂණාගාරයක්  පිහිටවීම  සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ලාංකේය සිනමාවේ සියවස් සැමරුම (1925-2025) සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය ඊයේ(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වුණු අතර එම උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලාංකීය සිනමාව සහ ගුවන් විදුලිය වසර 100ක් සැපිරූ 2025 වර්ෂය වැදගත් වසරක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට සිනමා සංස්කෘතිය දියුණු කර ගන්නේ නැතිව සිනමාවෙන්  ඉදිරියට යා නොහැකි බවත්, නව ජාතික සිනමා සංරක්ෂණාගාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා සිදු කර ඇති බවත් හැකි ඉක්මනින් මේවා යථාතතත්වයට පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය. ලාංකීය සිනමාවේ සියවසට සම්බන්ධ අමිල ධනය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත් පෞද්ගලිකව පැරණි සිනමා පට රැස් කර ගත් අයද මේ සඳහා සම්බන්ධ කර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

රන්මිණිතැන්න පරිශ්‍රය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව සොයා බලන බවද කීය. තවද  තරංගනී සිනමා පරිශ්‍රය  සහ කැලණිය  දලුගම සරසවි චිත්‍රාගාරය  දියුණු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත්,  නිතර ජලයට යට වෙන සරසවි චිත්‍රාගාරය  වෙනත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද කීය.

මෙරට චිත්‍රපට නිෂ්පාදකයන්ට, පසු නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාට හෝ සිංගප්පූරුවට නොගොස් මෙරටදී ම එම කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද ජනපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයිද කීය.

චිත්‍රපට සංස්ථා පනතද වසර 45කින් කිසිදු සංශෝධනයක් සිදු වී නැතැයිද එම  චිත්‍රපට සංස්ථා පනත, ලංකා කලා මණ්ඩල පනත, පුරා විද්‍යා පනත වැනි  පනත් කෙටුම්පත් කිහිපයක්  සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇති බවත් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට  යොමු කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

1925දී “රාජකීය වික්‍රමය නොහොත් "ශාන්තා” චිත්‍රපටයෙන් ඇරඹෙන “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම (1925-2025)" වෙනුවෙන්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ප්‍රකාශනයක් වන රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සංස්කරණයක් ලෙස “සිනමා විමර්ෂි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය” යනුවෙන් සිංහල සහ දෙමල භාෂා ද්වයෙන් යුතු ශාස්ත්‍රීය සංග්‍රහයක් ද මෙහිදී එළිදැක්වීමට නියමිතයි.

බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ රංගනය, අධ්‍යක්ෂණය, තාක්ෂණ ශිල්පීය දායකත්වය යනාදී ක්ෂේත්‍රවල පුරෝගාමීන් වන අයිරාංගනී සේරසිංහ, තිස්ස ලියනසූරිය සහ ඩෙරික් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලාංකේය සිනමාව තුළ 75 වසරක (1947 - 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 පහතින් දැක් වේ.

Sri lankan Film