වංචා දූෂණ නැති කිරීම සහ මූල්‍ය පාරදෘශ්‍යත්වය හේතුවෙන් තුන්වෙනි කාර්තුවේදීත් මෙරට අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට හැකි වූ බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
2025 වර්ෂයේ තුන්වෙනි කාර්තුවේදී 5.4%ක ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගැනීමට හැකි වූ බවත් ඒ අනුව මෙම වසර පුරා අඛණ්ඩව ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ආර්ථිකය විශ්ලේෂණය කිරීමේදී ආර්ථිකය ඉහළ පහළ යාම නොව යම් ප්‍රවණතාවයකට ගමන් කිරීම වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,අද වන විට මෙරට ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම අපේක්ෂිත ඉලක්ක අභිබවමින් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කළේය. ඒ අනුව කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන සෑම ක්ෂේත්‍රයකම අදවන විට වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පොළී අනුපාත සහ විදේශ විනිම අනුපාතයන්ද ස්ථාවරව පවත්වාගෙන යමින් පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළ පරිදිම මෙම වසරේ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා වන වසර වන බවද අමාත්‍යවරයා කීය.
දැනට තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ මෙරටට ආයෝජකයින් ගෙන්වා ගැනීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමෙන් සහ ආයෝජනයන් සඳහා ගතවන කාලය අඩු කිරීම , තාක්ෂණය දියුණු කිරීම සහ දූෂණය නැති බව පෙන්වීම වැනි ක්‍රියාමාර්ග ගනිමින් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රේගු, දේශීය ආදායම්, සුරාබදු වැනි සෑම අංශයකම අපේක්ෂා කළ ආදායමට වඩා වැඩි ආදායමක් එකතු කර ගත්තේ. අපි ඉලක්ක කළ අයවැය පරතරයට වඩා එම අගය පහළට එමින් තිබෙනවා. මෙලෙස අඩුම අයවැය පරතරයක් වාර්තා වී තිබෙන්නේ 1977 වර්ෂයට පසුයි.
ආපදා තත්ත්වය හමුවේදීත් අදියර දෙකකින් අපි ඒ සඳහා මැදිහත් වුණා. පළමු අදියර යටතේ එම අවතැන් වූවන්ට ආහාර පාන ආදිය ලබා දෙමින් ඔවුන්ව සුරක්ෂිත තැන් සඳහා යොමු කළා. දෙවන අදියර යටතේ එම ආපදාවන්ට පත් වූ අය නැවත පදිංචි කිරීම සිදු වෙනවා. Rebuilding Sri Lanka යටතේ තිබුණාටත් වඩා හොඳින් මේ රට නිර්මාණය කිරීමේ කාර්යයේ අපි යෙදී ඉන්නවා.


