පසුගිය දිනවල මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවූ ආපදා තත්ත්වයත් සමග රට වඩා හොඳින් ගොඩනැගීමට රාජ්‍ය සේවයේ සෑම කෙනෙකුම මෙම අවස්ථාවේ කටයුතු කරනවා සේම ඉදිරියටත් ධෛර්යසම්පන්නව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවසුවේය.
ක්‍රියා කිරීමට අපහසු තත්ත්වය යටතේ වුවද දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීවරු සහ අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන සිදුකරගෙන යන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් රජය වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විශේෂ ප්‍රශංසාවක් පිරිනැමුවේය.
රටේ ජනතාවගේ විශේෂත්වයක් වනුයේ මෙවැනි ආපදා අවස්ථාවකදී එකාවන්ව සහන සැලසීමට දායක වීම බව සිහිපත් කළ ලේකම්වරයා එවැනි අවස්ථා වල සහන සැලසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගයෙන් සිදුකරන ලෙසද ඉල්ලා සිටියේය.
සහන සහ ආධාර එකතු කරන කණ්ඩායම් ඒවා නිසි තැනට ලැබෙනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලෙසද පැවසූ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ආපදාවට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් කනගාටුවද මියගිය පිරිස් සම්බන්ධයෙන් ශෝකයද පළ කළේය.


