ආපදා තත්ත්වය හමුවේ මෙරට ද්විතීයික, තෘතියික සහ විශේෂිත රෝහල්වල මෙන්ම සමස්ත සෞඛ්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරයත්, රෝගී ප්‍රතිකාර සේවා, ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය, කාර්ය මණ්ඩල ගැටළු, රෝහල් පද්ධතියට අදාළ යටිතල පහසුකම් මෙන්ම සුභ සාධන සේවා පිළිබඳව ඉතා පුළුල්ව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ්‍රයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුම නියෝජ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨම නිලධාරීන් පිරිසක් සහභාගී වු අතර zoom තාක්ෂණය ඔස්සේ මෙරට සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ජාතික රෝහල්, ශික්ෂණ රෝහල් සහ මුලික රෝහල් අධ්‍යක්ෂවරු, වෛද්‍ය අධිකාරීවරු ඇතුළු සෞඛ්‍ය අංශයට සම්බන්ධ සියලුම අංශ ප්‍රධානීන් සම්බන්ධ වූහ.
මෙම සාකච්ඡාවේ දී අමාත‍්‍යවරයා ආපදා තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ කරුණු සොයා බලනු ලැබීය. එහි දී අමාත්‍යවරයා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙන් වෙන් වශයෙන් කරුණු සලකා බැලු අතර ඒ යටතේ වර්තමාන රෝගී ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන ආකාරය, ඖෂධ සැපයුම් ජාලය ක්‍රියාත්මක වන ආකාරය, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය, කාර්ය මණ්ඩල ගැටළු, රෝහල් හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් හා හදිසි අවශ්‍යතාවයන්, ප්‍රවාහන පහසුකම්, සන්නිවේන ගැටළු, යන්ත්‍ර සහ උපකරණ ආශ්‍රිත ගැටළු ආදිය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු විමසා බලන ලදී.
එහි දී විසදුම් ලබාදිය හැකි ගැටළු රැසකට එම මොහොතේම නිලධාරීන් සහ අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කර විසදුම් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත් අතර අනෙකුත් කරුණු වලට ද කඩිනම් විසදුම් ලබාදීමට නිලධාරීන්ට හා අදාළ ආයතනයන්ට පවරන ලදී.
විශේෂයෙන්ම මෙම සාකච්ඡාවේ දී ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වු මහියංගණය, හලාවත යන රෝහල්වල තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා දැඩි අවධානයක් යොමු කළ අතර මේ වන විටත් හලාවත රෝහලේ දැනට සිටින රෝගීන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට අවශ්‍ය බස් රථ අමාත්‍යවරයා පෞද්ගලිකව මැදිහත්ව සපයා දීමට කටයුතු කරන ලදී. මීට අමතරව මහනුවර හා පේරාදෙණිය රෝහල්වල පානීය ජල ගැටළුව විසදීම සඳහා අමාත්‍යවරයා ක්ෂණිකව විසදුම් ලබාදුන් අතර රෝහල් බොහෝමයකට අත්‍යවශ්‍යව තිබු ඔක්සිජන් අවශ්‍යතාවයන් කඩිනමින් සම්පුර්ණ කර දීමට කටයුතු කරන ලදී. එමෙන්ම රෝහල් බොහෝමයට බිඳවැටී තිබු ගිලන්රථ සේවා පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මෙම සාකච්ඡාවේ දී සිදු වු අතර එමෙන් ම ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ මලසිරුරු නිදහස් කිරීම හා ඊට අදාළ කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා සොයා බලන ලදී.
මෙහි දී සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති රැදවුම් මධ්‍යස්ථාන පිළිබඳව ද සොයා බලා එම මධ්‍යස්ථාන වලට අදාළ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් සේවා කඩිනමින් සපයා දීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නිසි සැලසුම් සකස් කිරීම සිදු කරනු ලැබීය. එමෙන් ම ඉදිරියේ දී මතුවිය හැකි වසංගත රෝග සහ අනෙකුත් ආපදාවන් පිළිබඳ කරුණු සොයා බැලු අමාත්‍යවරයා මතුවීමට නියමිත අදාළ ගැටළු සඳහා විධිමත් සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ද මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම සාකච්ඡාවේ ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අංශයන් වෙත වගකීම් පවරන ලද අතර ආපදා තත්ත්වය පහවයනතුරු දිනපතා අඛණ්ඩව මෙම කරුණු සොයා බැලීම සිදුකිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.


