දකුණු ආසියාතික සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ඩිජිටල් කුසලතා සංවර්ධනය තුළින් ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමේ වැඩමුළුව ඇරඹේ

දකුණු ආසියාතික සුළු හා මධ්‍ය  පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ගේ  ඩිජිටල් කුසලතා සංවර්ධනය තුළින් ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමේ වැඩමුළුව ඇරඹේ
  • SocialShare:

දකුණු ආසියාතික සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ඩිජිටල් හා මාර්ගගත ව්‍යාපාර කුසලතා ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන තෙදින වැඩමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ඊයේ ( 2025 නොවැම්බර් 18 ) ආරම්භ විය.

මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර කලාපයේ ආර්ථික හා සමාජයීය කොමිසම (UNESCAP) සහ වෙළෙඳ අමත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබයි.

වැඩමුළුවෙහි සමාරම්භක උත්සවයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය සිදු කල අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් (Marc Andre Franche) මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා, UNESCAP දකුණු ආසියා සහ දකුණු-බටහිර ආසියා කාර්යාල ප්‍රධානී මිකිකෝ ටනාකා (Mikiko Tanaka) මහත්මිය, ආසියා සහ පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ (APCICT/UNESCAP) අධ්‍යක්ෂක කියොං කෝ (Kiyoung Ko) මහතා, වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තු වාණිජ අධ්‍යක්ෂ ජෙනරාල් අමීනා මොහින් මහත්මිය, තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජීවන්ති සේනානයක මහත්මිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වර්තමාන ව්‍යාපාරික පරිසරයේ ඩිජිටල් කුසලතා ඇති සුළු හා මධ්‍ය  පරිමාණ කාන්තා ව්‍යාපාරිකයින් බලගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කරනු ලැබීය. ඩිජිටල් මෙවලම්, විද්‍යුත් වාණිජ්‍ය ප්‍රවේශයන් සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණයන් ලබා ගැනීමෙන් තරඟකාරීත්වය ශක්තිමත් කළ හැකි කාන්තා නායකත්වයෙන් යුත් ව්‍යාපාර, ජාතික හා කලාපීය වර්ධනය සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

මෙම වැඩසටහන සඳහා දකුණු ආසියාතික රටවල් නියෝජනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් 80 ක පමණ පිරිසක් සහභාගී වන අතර ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට සහ ආර්ථික අවස්ථා පුළුල් කිරීමට මෙම වැඩසටහන උපකාර වනු ඇතැ යි අපේක්ෂා කරනු ලැබේ.