බදුල්ල ශික්ෂණ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

බදුල්ල ශික්ෂණ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය
  • SocialShare:

බදුල්ල ශික්ෂණ රෝහලේ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඊයේ(18) බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයකට එක්‌විය.

ඌව පළාතේ මිලියන 1.5 කට අධික ජනතාවකට සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ  සත්කාර ලබාදෙමින් රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන්, අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ‌භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කරුණු සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කටයුතු කරන ලදි.

රෝහල් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු  වන ලද්දේ දැනට ඉදිකිරීම් සිදු කරමින් පවතින සහ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ය.

එහි දී ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින  දස මහල් නව හදිසි  ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු විශේෂ නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදි‍කිරීම් ආරම්භ කළ මහාචාර්ය ඒකක සහිත දස මහල් ‍ගොඩනැගිල්ල ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කරන ලදි.

මෙම දස මහල් ‍ගොඩනැල්ල ඉදිකිරීම සදහා 2023 වසරේ රුපියල් බිලියන 2.26 ක මුදලක් ‍වෙන්කර තිබූ අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට සැලසුම් කොට තිබුණි. මෙහි කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය වි‍ශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබුණි.

රෝහලේ තෙමහල් පිළිකා ප්‍රතිකාර සංකීර්ණ ගොඩනැගිල්ල සහ එහි ප්‍රතිකාර කටයුතුත් එහි ස්ථාපිත කොබොල්ටි විකිරණ ප්‍රතිකාර අංශය,  ඖෂධාගාරය, විකිරණ ප්‍රතිකාර අංශය ඇතුළු රුධිර කාන්දු පෙරණ ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය වැනි අංශ ගණනාවක් ද සිය නිරීක්ෂණයට ලක්  කරන ලදි.

බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හිමාලි විඡේගුණවර්ධන මහත්මිය ඇතුළු රෝහලේ පාලන අධිකාරිය, ඌව පළාත් පරිපාලන හා දේශපාලන නායකත්වයන්, විශේෂඥ වෛද්‍ය වෛද්‍ය, හෙද මෙන්ම අනිකුත් සෞඛ්‍ය කාර්ය  සමඟ රෝහල් ශ්‍රවණාගායේ දී විශේෂ කරුණු සොයාබැලීමේ සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙහි දී බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හිමාලි විඡේගුණසේකර මහත්මිය අදහස් දක්වමින් 08 ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති බදුල්ල ශික්ෂණ රෝහල සෞඛ්‍ය සේවා විෂයයන් රැසකට අදාළව පුළුල් පරාසයක විශේෂිත සේවාවන් සපයන බවත්, සංස්කෘතික වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමටත්, ශක්තිමත් ඒකාබද්ධ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමටත් කටයුතු බව පැවසී ය.