නැගෙනහිර පළාතේ සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවත්, සෞඛ්‍ය සේවා සංවර්ධනය පිළිබඳවත් සොයා බැලීම සඳහා මඩකළපුව දිස්ත්‍රික්කයට පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තිරුක්කෝවිල් දිස්ත්‍රික් මුලික රෝහලේ නිරීක්ෂණයක නිරත විය.
එහිදී රෝහලේ ශල්‍යාගාර, රෝගී ප්‍රතිකාර වාට්ටු, බාහිර අංශය ඇතුළු අංශ කිහිපයක් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා තිරුක්කෝවිල් මුලික රෝහල සඳහා 2017 වසරේ මුල්ගල් තබන ලද ශල්‍යාගාර සහ ලේ බැංකු ගොඩනැගිල්ල මෙතෙක් ඉදි කිරීම් සිදු කර නොතිබීම පිළිබඳවත්, රෝහලේ වර්ෂ 1982 විවෘත කරන ලද දැනටත් ප්‍රතිකාර කටයුතු සිදු කරන මාතෘ නිවාසය පිළිබඳවත් දැඩි අවධානය යොමු කරන ලදි.
නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් සමග රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ජාවක් ද පවත්වන ලදි.
රෝහලේ පවතින ප්‍රධාන ගැටළු ලෙස මානව සම්පත් සහ උපකරණ හිඟයත්, කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ඉතා අවම තත්ත්වයක පැවැතීමත්, වසර 30 ක් 60 ක් වැනි පැරණි භාවිතයට ගත නොහැකි ගොඩනැගිලි වන බව තිරුක්කෝවිල් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඒබී. මෂූත් මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.
එම සාකච්ඡාවේ දී රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතාවය කාර්ය මණ්ඩල පොදු අවශ්‍යතාවයන් සැලසුම් සහගතව පියවරෙන් පියවර ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
රෝහලේ අවශ්‍යතාවය පරිදි නිසිප්‍රමිතියෙන් යුත් ගොඩනැගිලි සහ ඉඩකඩ නොමැතිකම පිළිබඳවත් අවධානය යොමු කළ අමාත්‍යවරයා ලබන වසර වන විට රෝහලේ ප්‍රධාන සැලැස්මට අනූව වන තෙමහල් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ගොඩනැගිල්ලේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන බවත් දැනුම් දෙන ලදි.
වසර 130 ක ඉතිහාසයකට හිමිකම් කියන තිරුක්කෝවිල් මුලික රෝහල 2018 වර්ෂයේ දී මූලික රෝහලක් ලෙස උසස් කර ඇති අතර 30,000 ක් වැනි ජනතාවකට සෞඛ්‍ය සේවා සපයනු ලබයි. මේ වනවිට ඇඳන් ධාරිතාවය 72 කි. රෝහලේ බාහිර රෝගී අංශය සඳහා දිනකට 209 ක පමණ පිරිසක් සහභාගි වන අතර, සායන සඳහා 250 ක පමණ පිරිසක් සහභාගි වේ.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය එල්.ජී. වසන්ත පියතිස්ස, කල්මුණේ ආසනයේ ජාතික ජන බලවේග සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආතම්බාවා, තිරුක්කෝවිල් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඒබී. මෂූත් යන මහත්වරුන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.


