නීති කටයුතුවලට සහාය දීම පොදු ජන පෙරමුණේ වගකීමක් - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

 නීති කටයුතුවලට සහාය දීම පොදු ජන පෙරමුණේ වගකීමක් - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වී ඇති බවත්, එම මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද(09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ  බව පැවසීය.

බොහෝ කලක සිට මෙරටතුළ මත්ද්‍රව්‍යය ජාවාරම් සිදු වූ බවත්, මෙම ජාවාරම් නැති කිරීමට නම් ආණ්ඩුවක් සතුව අධිෂ්ඨානයක් තිබිය යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා,  මේ අත්අඩංගුවට ගැනීම් සියල්ල සිදු වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට  අදාළ ද්‍රව්‍යය සහ ආයුධ සම්බන්ධයෙන් මිද්දෙණියේදි පොදුජන පෙරමුණට අයත් පුද්ගලයන් දෙදෙනෙක් ට  චෝදනා එල්ල වී තිබෙනවා. මේ සිදුවීමේදී එම පුද්ගලයින්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න කටයුතු කළා. නමුත් එය පමණක්  ප්‍රමණවත් නැහැ. මන්ත්‍රීවරයෙක් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙසද ඔහුව හඳුනාගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණේ අයට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මෙම පුද්ගලයා පොලීසියට භාර දීලා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දීම. එය එම පක්ෂයේ වගකීමක්. පොලීසිය ඔහුව සොයමින් ඉන්නේ.එම පුද්ගලයා ඉදිරියේදී නිසැකවම අත්අඩංගුවට පත් වේවි.එම සාක්ෂි අනුව ඉදිරියේදි තව තව අය හෙළිවේවි.

රේගුවේ කන්ටේනර් සිද්ධිය  සම්බන්ධයෙන්ද යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම  පරීක්ෂණද සිදු කෙරෙන බවයි. අදාළ නිලධාරින් ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දඩුවම් ලැබෙනු ඇති බවත් රජය වැරදිකරුවන් කිසිවෙකුත් ආරක්ෂා නොකරන බවද අමාත්‍යවරයා කීය.