ජාතික ජන බලවේගයේ "එක්ව අත්නොහැර" ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය තුළ මානසික සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන් සමග ජීවත් වන දෙමව්පියන් සහ භාරකරුවන් පිළිබඳව විශේෂයෙන් සදහන් වන අතර, ඒ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරමින් විවිධ මානසික සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන් සංවිධානය කිරීම සදහා විශේෂ වැඩසටහනක් ඉතා මෑතකදී ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.
අබාධ සහිත පුද්ගලයන් ගැන කතා කිරීමේදී මානසික සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව කතාබහ එතරම් ඉහලට එස නොවන්නේ ඔවුන් පිළිබඳව තවත් පාර්ශවයක් මැදිහත්වීම අවශ්‍යවන නිසාය.
මෙම මානසික සහ බුද්ධිමය ආබාධ සහිත තත්ත්වය නිසා ඔවුන් හුදු භෞතිකව අපට පෙනෙනවා මිස ඔවුන් පිළිබඳව අදහස් ලබා ගැනීමක් සඳහා ඔවුන්ම සහභාගි කරවා ගත නොහැකි වන අතර එහිදී, විවිධ මානසික සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන් අතිශයින්ම වැදගත් වනු ඇත.
වසර ගණනාවක් තිස්සේ මෙම මානසික සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන් සමග ජීවත් වන දෙමව්පියන් සහ භාරකරුවන්ට මේ ප්‍රජාව පිළිබඳව ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් දැනුමක් සහ අත්දැකීම් සමූහයකි.
විවිධ මානසික සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමව්පියන් සහ භාරකරුවන් සංවිධානය කිරීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහන පිළිබඳව තොරතුරු ඉදිරියේදී මාධ්‍ය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුබද්ධිත සමාජ සේවා නිලධාරීන් හරහා දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.


