ආරක්‍ෂිත සහ කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා සපයනු ලබන හා මෙහෙයුම් ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (15) සහභාගී වෙමිනි.
එහිදී රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමාන්තරව ප්‍රවාහන සේවාව සඳහා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් ආරක්‍ෂිත, කාර්යක්‍ෂම, විධිමත් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට ආයතන මට්ටමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
මෙහිදී ප්‍රවාහන ක්‍ෂේත්‍රයට අදාල ඩිජිටල්කරණ ක්‍රියාවලිය නියමිත කාල රාමුවකට සකස් කිරීම, මහජන පැමිණිලි සඳහා කඩිනම් ප්‍රතිචාර ක්‍රමවේදයක් සැකසීම, විද්‍යුත් ගෙවීම් ක්‍රමවත් කිරීම, බස් සමාගම් පිහිටුවීම, නව බස් රථ ධාවනයට එක් කිරීම සහ ටෙන්ඩර් ක්‍රමවේදය විධිමත් කිරීම, GPS සහ AI තාක්‍ෂණය යොදාගැනීම ඇතුලු ක්‍ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ, ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න, දිවයිනේ සියලුම පළාත්වල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරු ඇතුලු නිලධාරීන් පිරිසක් එක්විය.


