රාජ්‍ය නිලධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්

රාජ්‍ය නිලධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්
  • SocialShare:

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ඊයේ (14) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ප්‍රධාන ශාලාවේදී ඇරඹිණි.

මෙහිදී  මූලිකව කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යංශ,දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 68 දෙනෙකු සඳහා කන්ඩායම් දෙකක් යටතේ පාඨමාලාව ලබාදීමට සැලසුම් කර ඇත.

මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් තෝරාගැනීමේදී පුහුණුව ලබාදීමේන් පසු මහජනතාවට ඵලදායී සේවාවක් ලබාදිය හැකි, කෙටි කාලයක් තුළ ස්ථාන මාරුවීම් අපේක්ෂා නොකරන, මහජනතාව සමඟ ඝෘජුව ගනුදෙනු කරන නිලධාරීන් සඳහා ප්‍රමුඛතාව ලබාදී  ඇත.

සම්පූර්ණ පාඨමාලා කාලය දින 24ක් පුරා පැය 60ක කාලයක් වන අතර න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලවක් වන මෙය 2026 වසරේ මුළු දිවයිනම ආවරණය වන ලෙස දිස්ත්‍රික්ක 25ට පාඨමාලා 25ක් ලෙස පැවැත්වීමට නියමිතය.

මෙමගින් කණ්ඩායමකට නිලධාරීන් 25 බැගින් නිලධාරීන් 625 දෙනෙකුට නොමිලේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නිර්බාධිත සමාජ ජීවිතයක්, යුක්ති සහගත සම ප්‍රවේශයක් පරිච්ඡේදයේ සඳහන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ද රටේ අනෙකුත් පුරවැසියන් හා සමානව ජීවත්වීමට ඇති අයිතිවාසිකම තහවුරු කිරීමේදී රාජ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම මෙහි අරමුණ වෙයි.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් ( සමාජ ආරක්ෂණ ) හේමා පෙරේරා මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රමආරච්චි මහත්මිය සහ පාඨමාලාව හදාරන රාජ්‍ය නිලධාරීන් එක්වසිටියහ.