මෙරට සිය ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
2022 වර්ෂයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස තමන් පැමිණි බවත්, ශ්‍රී ලංකාවේ ගත කල වසර තුන හමාරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය සහාය මෙන්ම සෞඛ්‍ය සැලසුම් හා ව්‍යාපෘති සදහා අවශ්‍ය වන සහාය ද නිබදවම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බව කුන්ලේ ඇඩෙනියි මහතා හමුවට ප්‍රවේශයක් ගනිමින් පැවසී ය.
වත්මන් රජය මෙරට සෞඛ්‍ය අංශය ඇතුළු අනෙකුත් අංශ ඩිජිටල්කරණය කිරීමට පියවර ගැනීම වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එය විශේෂ ඇගයීමකට ලක්කල යුතු බවත්, මෙරට සේවය කළ කාලය තුළ තමන් අත්දැකීම් සමුදායක් ලබා ගත් බව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතවරයා මෙහි දී පැවසී ය.
විවිධ හේතූන් නිසා පසුගිය කාලයේදී මෙරට සෞඛ්‍ය සේවාවේ යම් කිසි පසුගාමීත්වයක් සිදුව ඇති නමුත් නව රජය බලයට පත්වීමත් සමග පැවති ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් විධිමත් සහ කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීම සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යාම පිළිබදව වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා මෙහි දී ස්තූතිය පළකර සිටියේ ය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා සිනහමුසු මුහුණින් ඉතා මිත්‍රශීලීව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මෙරටට අවශ්‍යවන ජාත්‍යන්තර සහාය, දැනුම, ඇතුළු අනෙකුත් අංශ සම්බන්ධීකරණය කරමින් මෙරටට සුවිශේෂී විශිෂ්ට සේවාවක් සිදුකල බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහාත් ගතයුතු සුදුසු ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් ලෙස පවත්වා ගෙන යාමට රජය සැලසුම් කර ඇති බව මෙහි දී සදහන් කල අමාත්‍යවරයා මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය මෙන්ම සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතියට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේවන තෙක් ලබාදුන් දායකත්වය, සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අවධාරණය කලේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් සහකාර නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග යන මහත්වරුන් ද එක්ව සිටියහ.


