පරිවාසගතව සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීම සහ ‘’අර්ථ’ නමින් නව බැංකු ගිණුම් විවෘතකිරීමේ සමාරම්භක වැඩසටහන හෙට(15) ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
ආයතනික රැකවරණය හා භාරකාරීත්වයේ සිටින ළමුන් සහ විදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/- ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව එම අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් හෙට දිනයේ මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
රුපියල් 5,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3,000 ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබ සාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබා දෙන අතර, ඉතිරි රුපියල් 2,000 ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කෙරේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක ජීවත්වන ළමුන් 9191කට හෙට දිනයේ මෙම ගිණුම් විවෘතකරන බවයි.
මෙම සමාරම්භක වැඩසටහන හෙට පෙ.ව 11.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පිහිටි , ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේදී සිදු කෙරේ.


