- රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත් හා කාර්යක්ෂම කිරීමට රෝහල් පරිපාලනයට උපදෙස්.
- ගැටළු රැසකට එම මොහොතේ ම විසඳුම් ලබාදීමටත් පියවර
උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහල පසුගියදා (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයකට ලක්විය.
උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණය සිදු කරන ලදි.
මෙහි දී යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, නේවාසික රෝගී ප්‍රතිකාර වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය සහ රසායනාගාර, සීටී ස්කෑන් ඒකකය, විකලාංග මෞත්‍ර ලිංග ශල්‍ය වාට්ටු, රෝහලේ ප්‍රතිකාර අංශ මෙන්ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වයන් මෙන්ම ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරික්ෂණයට ලක් වු අතර, නේවාසික රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කරන ලදි.
ඉහත එක් එක් එකකයන් විසින් සිදු කරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් මෙන්ම සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබාදීම ද මෙම නිරීක්ෂණයේ දී සිදු වූ අතර, සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට වර්තමානයේ පවතින ගැටළු පිළිබඳව කරුණු මෙන් ම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ලබා දීමට ද අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයේ දී පියවර ගන්නා ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉතා කෙටි කාලයක් තුළ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට පියවර ගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සිදු කළ නිරීක්ෂණය සහ සේවා විධිමත් කිරිම සඳහා උපදෙස් ලබාදීම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ පැසසුමට ලක්වීම විශේෂත්වයක් විය.
රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර හා සත්කාර සේවාවන් ලබා දී ඔවුන් නීරෝගීමත් පුද්ගලයන් බව ට පත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලු දෙනාගේ වගකීම බව ද මෙරට සමස්ත ජනයා සුවපත් කිරීමේ වගකිම පහළම සේවකයාගේ සිට සෞඛ්‍ය අමාත්‍යවරයා දක්වා ම පැවරී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි. යාපනය ශික්ෂණ රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනයට සැළසුම් ගත වැඩපිළිවෙලක් තුළ ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහලේ කටයුතු පිළිබඳව රෝහල් පාලන අධිකාරිය සහ කාර්ය මණ්ඩලය සමඟ දීර්ඝ සාකච්ඡාවක් ද පවත්වන ලදි.
යාපනය ශික්ෂණ රෝහල යාපනය, කිලිනොච්චි, මන්නාරම මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ සඳහා සෞඛ්‍ය සේවා සපයනු ලබන අතර, මෙම රෝහල වාර්ෂිකව ප්‍රසව වෛද්‍ය ප්‍රතිකාර 20,000 කට අධික සංඛ්‍යාවක් සහ දරු ප්‍රසූති 5582 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබයි. ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වාර්ෂිකව සුළු සැත්කම් 22000 කට අධික සංඛ්‍යාවක් සහ ප්‍රධාන සැත්කම් 13000 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබන අතර, යාපනය ශික්ෂණ රෝහලේ අති නවීන රසායනාගාරය රෝගීන්ට දැවැන්ත සේවාවක් සපයයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ රෝහලේ යටිතල පහසුකම් සහ කාර්යයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා වේගවත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, මෙමගින් රෝගීන්ට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා ඉටු කිරීමට රෝහලට හැකියාව ලැබී ඇත.
යාපනය ශික්ෂණ රෝහලේ මෙම නිරීක්ෂණය සදහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය එස් ශ්‍රීභවන්තරාජා, කරුණානන්දන් ඉලන්කුමරන් යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයින්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය සී.එස් ජමුුනනාථ, ටී. කුහතාෂන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝහල් කමිටු සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ.


