වෘත්තීය ආයතන සහ සෞඛ්‍ය පද්ධතිය අතර සහයෝගීතාවය තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය (Sri Lanka Medical Nutrition Association - SLMNA) සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Nutrition Physicians - SLCNP) විසින් ඒකාබද්ධව සංවිධානය කෙරුණු සායනික පෝෂණ අධ්‍යයන සැසිවාරය - 2025 පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි.
“සායනික පෝෂණය පිළිබඳ පරිදර්ශනීය දැක්මක්” (A Panoramic view of Clinical Nutrition) යන තේමාව යටතේ සායනික පෝෂණ අධ්‍යයන සැසිවාරය පැවැති අතර, මෙම සැසිවාරය තරබාරුකම (Obesity), පිළිකා (Cancer), ඩිස්ලිපිඩිමියාව (Dyslipidemia), ආමාශ ආන්ත්‍රික ආබාධ (Gastrointestinal Disorders) සහ තවත් බොහෝ රෝගී තත්ත්වයන් පිළිබඳ පෝෂණ චිකිත්සාවේ ප්‍රමුඛ සහ ප්‍රායෝගික අංශ ආවරණය වන පරිදි විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබූ සම්මන්ත්‍රණයන්ගෙන් ද යුක්ත විය.
සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග වැළැක්වීම සහ කළමනාකරණය කිරීමේ දී පෝෂණය ප්‍රධාන කරුණක් වන බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය අධ්‍යාපනය, පුහුණුව, සායනික පුහුණුව මෙන් ම උපදේශනය යන ක්ෂේත්‍රවල අඛණ්ඩ එ්කාබද්ධ මැදිහත්වීමක් සිදු කරන බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ පොදු ජාතික ඉලක්කය සපථ කර ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය ලබාදෙන දායකත්වයට සහ මෙහෙවරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසූ අමාත්‍යවරයා රෝහල් ආහාර සේවා සහ රෝගීන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මුලපිරීම් ඉතා කාලෝචිත බවත්, වෘත්තීය ආයතන සහ සෞඛ්‍ය පද්ධතිය අතර සහයෝගීතාවය තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව ද පෙන්වා දෙන ලදි.
සායනික පෝෂණය සහ පරිවෘත්තීය සඳහා වූ යුරෝපීය සංගමය (European Society for Clinical Nutrition and Metabolism - ESPEN) සහ කලාපීය නියෝජිතයින් ඇතුළු ව ලොව පුරා සිටින විශේෂඥයින් එක්රැස් කළ දැවැන්ත වේදිකාවක් ලෙස වාර්ෂික සැසිවාරය පෙන්වා දිය හැකි බවත්, මෙම අධ්‍යයන හුවමාරු වැඩසටහන් දේශීය ධාරිතාව ගොඩනැගීමට, නවෝත්පාදනයන් දිරිමත් කිරීමට සහ ගෝලීය හොඳම භාවිතයන් සමඟ මෙරට සෞඛ්‍ය සේවාව පෙළගැස්වීමට ඉතා වැදගත් පියවර ලෙස පෙන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවැසී ය.
2015 පෙබරවාරි 14 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය (SLMNA), මෙරට 'සායනික පෝෂණ' ක්ෂේත්‍රයට කැප වූ පුරෝගාමී සංවිධානයකි. SLMNA පිහිටුවන ලද්දේ රෝග නිවාරණ සහ වැළැක්වීමේ සෞඛ්‍ය අංශ දෙකෙහිම රෝගී සත්කාර සඳහා ආධාරක සේවාවක් ලෙස ශ්‍රී ලංකාවේ සායනික පෝෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ යහපත් දැක්ම ඇතිව ය.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන්, අන්තරාසර්ග විද්‍යාඥයින්, රූමැටික් විද්‍යාඥයින්, ප්‍රජා වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍ය නිලධාරීන් වැනි සියලු ම කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළු සාමාජිකයින් 333 දෙනෙකුගෙන් යුක්ත සංගමයකි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභාපති වෛද්‍ය ජයනි තෙන්නකෝන් ජයවීර, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලයේ (SLCNP) සභාපති වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රසික ගුණපාල, පෝෂණය පිළිබඳ මහාචාර්ය සුධීර කළුපහන, සායනික පෝෂණය සහ පරිවෘත්තීය සඳහා වූ යුරෝපීය සංගමයේ (ESPEN) සභාපති සහ භාණ්ඩාගාරික මහාචාර්ය නාරද වර්ණසූරිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභා සාමාජිකයින් ඇතුළු සංගමයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.


