අධිකරණ ඇමති කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

අධිකරණ ඇමති කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි
  • SocialShare:

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (08) කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

දිසා අධිකරණයේ ලඝු ලේඛන අංශ, ලේඛණාගාරය, දිසා අධිකරණ පැරණි ලේඛනාගාරය, ආපනශාලා පහසුකම්, පිස්කල් අංශ ඇතුලු අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා නිරීක්ෂණ කළ අධිකරණ අමාත්‍යවරයා සේවකයින් මුහුණ දී සිටින ගැටලු සහ කාර්යාල ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.
විශේෂයෙන් දිසා අධිකරණ ලේඛණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, විනිසුරුවරුන්ගේ පහසකම් හා දිසා අධිකරණයේ මේ වන විට සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන්, කොළඹ දිසා අධිකරණයේ නිලධාරීන් සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.