පකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

පකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M)) මහතා ඊයේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.


මෙහි දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දීර්ඝකාලීන සමාජ, ආර්ථික, අධ්‍යාපන, ක්‍රීඩා සහ දේශපාලන සබඳතා පිළිබඳවත්, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සංචාරක හා වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ කටයුතු ඉදිරියේ දී තව තවත් වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි. එමෙන්ම දෙරටෙහි සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ රුපවාහිනී ක්ෂේත්‍රයේ විචිත්‍රාංග සහ ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී පුළුල් අවධානයක් යොමු කරන ලදි.
ඉහත සියලු ක්ෂේත්‍ර තුළ පකිස්ථාන රජයේ සහාය ශ්‍රී ලංකාව‍ට නොමඳව ලබාදෙන බවට පකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික විය.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද මෙහි දී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, දැනට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට පකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දොරට අතර පවතින සහයෝගීතාව වර්ධනය කිරීම මෙන් ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍යයින්ට ගුණාත්මක වෘත්තිය පුහුණුවක් ලබාදීම එහි දී අවධානය යොමු විය.
මීට අමතරව කෘෂිකර්ම සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන් නියෝජනය වන අවස්ථා සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ශක්තිමත් සබඳතාව මෙම හමුවේදී තවදුරටත් තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා වර්ධනය කරගැනීමට ඇති හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය මෙහි දී යොමු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් වෙළඳ හා ආයෝජන විෂය භාර නිලධාරීනී මහ්වාෂ් සාමි (Ms.Mahwash Sami), මාධ්‍ය හා සංස්කෘතික විෂය භාර නිලධාරී අදීල් සත්තාර් (Adeel Sattar) යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.