වනඅලින්ට සිදුවන හදිසි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක්

වනඅලින්ට සිදුවන හදිසි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක්
  • SocialShare:

පොළොන්නරුව වනජීවී කලාපයේ කලුන්දෑව වනජීවී ඒකකයට අයත් කණ්ඩලම වැව් පරිශ්‍රයේ මීට මාස තුනක පමණ පෙර සිට වෙඩි වැදුණු හස්ථියෙකු පිළිබඳ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුව වෙත වාර්තා වූ අතර මේ වන විට රෝගී තත්වයේ පසුවන හස්ථියා නිරීක්ෂණය කිරීමටත් කඩිනමින් අවශ්‍ය පහසුකම් සලසා දීමටත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරු ඊයේ(6) දින පස්වරුවේ හස්ථියා රෝගී වී සිටින ප්‍ර‍දේශයේ නිරීක්ෂණයක සහභාගී වූහ.

ඇතාගේ දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ගිරිතලේ වනජීවී කලාපයේ පශුවෛද්‍ය කළිඳු මහතා ඇතුළු පිරිස විසින් සිදු කරනු ලැබූ අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබා දීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිළධාරීන් විසින් සිදු කරන ලදී.

ඒ අනුව අද දිනයේ දී පෙර පැවති තත්වයට වඩා රෝගී වූ හස්තියාට තම ඉදිරි පාදය තබමින් යම් සුළු චලනයක් සිදු කිරීමට හැකි වූ අතර එහි දී ගරු පරිසර අමාත්‍යතුමා විසින් ගිරිතලේ වනජීවී කලාපයේ පශුවෛද්‍යවරුන්ට සහ නිළධාරීන්ට ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පහසුකම් සලසන ලෙසත් ස්කෑන් පරීක්ෂණ, රුධිර සාම්පල් පරීක්ෂණ කඩිනම් කිරීමට ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙන ලදී.

පරිසර අමාත්‍යවරු විසින් ඉදිරි දවස් කිහිපය තුළ අදාළ එක්ස්රේ පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ මෙන්ම රුධිර සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසු ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ සැත්කම් කටයුතු කිරීමට ගිරිතලේ වනජීවී කලාපයේ පශුවෛද්‍ය නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

එම අවස්ථාවේ ගරු පරිසර අමාත්‍යවරයා පවසා සිටියේ නිරන්තරයෙන් වනඅලීන්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් හසිදියේ රෝගී තත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් ස්ථාපිත කිරීමටත් ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමටත් ඉදිරියේ දී කටයුතු කරන බවයි.

මෙම අවස්ථාව සඳහා දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය ද වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද සහභාගී වූහ.