විශ්වීය සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතුයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

විශ්වීය සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතුයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • SocialShare:

විශ්වීය සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතු බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ “සිනමන් ලයිෆ්” හෝටලයේ දී පැවැත්විණි.

නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීම (Embracing Innovation and Digital Transformation) යන්න තේමා කර ගනිමින් මෙවර  ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සංවිධානය කරන ලදී. සමාජිකයන් 1,900 ක පමණ  පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය වෘත්තියේ ජාතික සහ මව් ආයතනය වන අතර මුඛ රෝග වැළැක්වීම, මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙන්ම සංගමයේ  සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය මෙම සංගමයේ මුලික කාර්යභාර්යන් වේ.

ශ්‍රී ලංකාවේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 3,500 ක් පමණ සිටින අතර, බහුතරයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි. 300-400 ක් වැනි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ පමණක් සේවය කරනු ලබයි. 70-80 ක් අතර ප්‍රමාණයක් විශ්ව විද්‍යාල පද්ධතියේ සහ 50-60 ක් පිරිසක් ආරක්ෂක හමුදා අංශවලට සිය සේවා දායකත්වය ලබාදෙනු ලබයි.

ජාතියේ මුඛ සෞඛ්‍ය සහ වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සියවසකට ආසන්න කාලයක් පුරා සිදු කළ නොසැලෙන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ වෙත මෙහි දී සිය හෘදයාංගම කෘතඥතාවය පළ කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෝ නොවන රෝගවල වර්ධනය සමඟ මෙරට සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් පවතින බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මුඛ රෝග ගෝලීය වශයෙන් බහුල බෝ නොවන රෝගයක් වන බව ද මෙම සැසිවාරය අමතමින් පැවසී ය.

දශක ගණනාවක් තිස්සේ මහජන සෞඛ්‍ය කටයුතු සිදු කළ ද  විශේෂයෙන් ග්‍රාමීය සහ වතු ජනගහනය අතර මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ අගයක පවතින බවත්, දුම්කොළ භාවිතය, බුලත්විට භාවිතය සහ දුර්වල සනීපාරක්ෂාව වැනි අවදානම් සාධක ජනතාව අතර බහුලව පවතින බවත්, දන්ත රෝග කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා ඇති බාධක ලෙස ඉහත කරුණු පෙන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

විශ්වීය සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය නැවත අර්ථ දැක්විය යුතු බවත්, මුඛ පිළිකා ඇතුළු දන්ත රෝග බොහෝ දුරට නිවැරදි පිළිවෙත් අනුගමනය කරන්නේ නම් වළක්වා ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස මුඛ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා විශේෂයෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සඳහා  මුඛ සෞඛ්‍යය ප්‍රාථමික සෞඛ්‍ය සේවා සමඟ ඒකාබද්ධ කිරීම, දන්ත වෛද්‍ය කාර්ය මණ්ඩල සහ අත්‍යවශ්‍ය සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම, ශක්තිමත් ජාතික මුඛ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ නිරීක්ෂණ පද්ධතියක් සංවර්ධනය කිරීම, පර්යේෂණ, ඩිජිටල් සෞඛ්‍ය නවෝත්පාදන සහ ටෙලි දන්ත වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීම, රෝග වැළැක්වීමේ උපාය මාර්ග සහ සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා පවතින නීති නැවත සලකා බැලීම වැනි වැඩපිළිවෙල දියත් කරනු ලබන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.

දන්ත අධ්‍යාපනය ප්‍රධාන ප්‍රමුඛතාවයක් බවත්, වාර්ෂිකව උපාධිධාරීන් 2,000 කට අධික සංඛ්‍යාව බිහි කරන වෛද්‍ය පීඨ 12 ක් මෙරට සෞඛ්‍ය සේවාව සතුව පවතින බවත්,  දන්ත අධ්‍යාපනය වසර 85 කට වැඩි කාලයක් සීමිත බඳවා ගැනීම් සහිත තනි පීඨයකට සීමා වී ඇති බව ද මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙරට දෙවන දන්ත වෛද්‍ය පීඨය පිහිටුවීම දන්ත සෞඛ්‍ය සේවාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන බව ද අධ්‍යයන විශිෂ්ටත්වය, පර්යේෂණ නවෝත්පාදනය සහ දන්ත විද්‍යාවන් හි සායනික නායකත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සහතික කිරීම සඳහා මෙම මුලපිරීමට සාමූහිකව සහාය ලබාදෙන බව ද අවධාරණය කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස, සන්නිවේදනයේ පරිවර්තනීය ශක්තිය තමන් හදුනන බවත්, මුඛ සෞඛ්‍යය, පෝෂණය, මුඛ පිළිකා වැළැක්වීම සහ දන්ත සෞඛ්‍යයට හානිකර පුරුදු වල අවදානම් පිළිබඳ බලපෑම් සහිත මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය  සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

ආදායම හෝ භූගෝලීය පිහිටීම නොසලකා සෑම පුරවැසියෙකුටම ගුණාත්මක මුඛ සෞඛ්‍ය සේවාවක් සහ සෞඛ්‍ය සම්පන්න සිනහවක ගෞරවය ලබා ගත හැකි ශ්‍රී ලංකාවක් සඳහා කැපවන බවත්, මෙරට දන්ත ‌සෞඛ්‍ය සේවාව නැංවීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නායකත්වය සහ සිදු කරනු ලබන මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයට සිය කෘතඥතාව පළ කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ය.

"සායනික යුක්තිය: අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල දන්ත වෛද්‍ය විද්‍යාවේ තීරණාත්මක කාර්යභාරය හෙළිදරව් කිරීම" (clinical justice: unveiling the crucial role of dentistry in forensic investigations) යන මැයෙන් මහාචාර්ය එස්.බී. දිසානායක අනුස්මරණ දේශනය 2025 අධිකරණ දන්ත වෛද්‍ය ජයනි බී වීරරත්න මහත්මිය විසින් මෙහිදී සිදු කරන ලදි.

හොඳම දන්ත ශිෂ්‍යා, දන්ත ශිෂ්‍ය ශිෂ්‍යත්වය සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ රන් පදක්කම සහ 2023 - 2024 හොඳම සඟරා ලිපිය වෙනුවෙන් සම්මානය ඇතුළු තිළිණ ප්‍රදානයන් ද මෙහි දී සිදු විය.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය රුවන් ජයසිංහ, ලේකම් වෛද්‍ය සාරංග වික්‍රමතිලක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ, දන්ත වෛද්‍ය සංගමයේ සාමාජිකයින් ඇතුළු දන්ත වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් එක්ව සිටියහ.