ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට්, පොස්පේට් හා ඛණිජ වැලි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ඉන්දුනීසියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ සෘජු ආයෝජනයන් (G2G) සිදුකිරීම පිළිබඳව අවධානය යොමුවෙයි. ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය, කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී ඊයේ (19 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී.
විශේෂයෙන්ම ඉන්දුනීසියාව තුළ සිදු කෙරෙන නැවත ආරෝපනය කළ හැකි විද්‍යුත් බැටරි (Re – Charge Battery) නිෂ්පාදනයේදී යොදාගන්නා ග්‍රැෆයිට් ලබා ගැනීම පිළිබඳව ඉන්දුනීසියානු තානාපතිනිය ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඉල්ලා සිටි අතර රජයන් දෙක අතර ඒකාබද්ධ සෘජු ආයෝජන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් ඒ සඳහා සහාය දීමට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පොරොන්දු විය.
මෙම වසරේ අගෝස්තු මස ඉන්දියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉලෙක්ට්‍රොනික බැටරි කර්මාන්තකරුවන්ගේ අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ලංකාවේ ග්‍රැෆයිට් නිෂ්පාදන ක්ෂේත්‍රයට ආරාධනා කළ තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා - ඉන්දුනීසියා රජයන් දෙක අතර ග්‍රැෆයිට් කර්මාන්තය වෙනුවෙන් ඒකාබද්ධ සෘජු ආයෝජන සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය පළ කළාය.
එසේම දෙරටටම වාසිදායක වන අයුරින් මැණික් හා ස්වර්ණාභරණ, ඛණිජ වැලි, පොස්පේට්, දුඔුරු සීනි, බතික්, රෙදි පිළි, ඇලුමීනියම්, යකඩ හා සේවා කර්මාන්ත ඇතුලත් නිදහස් වෙළෙඳ ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඔීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලද අතර දෙරට අතර සංචාරක හා කෘෂි තාක්ෂණික හුවමාරුවන් සිදුකිරීමට ඇති හැකියාවන් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු නියෝජ්‍ය තානාපති Fiki Oktanio, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Sheila Ananta Ully, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නිශාන්ති වික්‍රමරත්න, හා සම්බන්ධීකරණ ලේකම් රසිඳු මාරගල යන අය සහභාගි වූහ.


