ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/- ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් වෙන් කර ඇති අතර ඒ අනූව එම ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
යෝජිත ජීවන වියදම් දීමනාව පහත සඳහන් පරිදි ගෙවීමටත්, එම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාමටත් අවශ්‍ය මගපෙන්වීම සහ පසුවිපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද පැවසුවේය.
- රුපියල් 5000/-ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3000/-ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරීත්වය දරන්නාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ලබා දීම.
- ඉතිරි රුපියල් 2,000/-ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම.