ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා
  • SocialShare:

ඉන්දුනීසියාව සමඟ සාකච්ඡ කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දුනීසියානු තානාපතිනියට දැන්වූවේ ය.

ඒ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඉකුත් 02 වන දා පැවැති අවස්ථාවේ දී ය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ පවත්වන මිත්‍ර සබඳතාව පිළිබඳව ද ප්‍රසාදය පළ කළ අමාත්‍යතුමා එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ද පෙන්වා දුන්නේ ය.

ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සඳහා නිකල් ආදි ඛණිජ සම්පත් අපනයන කරන බව පෙන්වා දුන් තානාපතිවරිය ඛණිජ වැලි ආදිය අපනයනය කරනු ලබන රටවල්වල එකමුතුවක් ඇති කර ඛණිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන ලෙස සෙසු රටවලට අපනයනය කිරීම පිළිබඳව යෝජනා කළා ය. ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට ඉන්දුනීසියාව සමඟ එක් වී අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ලබාගැනීමට ඉදිරි කාලයේ ද්විපාර්ෂවික සහයෝගීතාවයකට පැමිණීමට අමාත්‍ය විජිත හේරත් මහතා ද එකඟතාවය පළ කළේ ය.

ඉන්දුනීසියාව විදුලි වාහන නිස්පාදනය සම්බන්ධයෙන් කේන්ද්‍රයක් බවට පත්වී ඇති බැවින් සිය විදුලි බස් රථ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ හවුලේ කටයුතු කිරීමට ද තානාපතිවරිය කැමැත්ත ප්‍රකාශ කළා ය. මීට අමතරව ඉන්දුනීසියාව සහල්, ඉරිඟු, සීනි සහ ධීවර කර්මාන්තය වැනි කෘෂි ක්ෂේත්‍රවල ලබා ඇති දියුණුවත් සමඟ කෘෂි නිෂ්පාදන අතිරික්තයක් එරට පවතින බැවින් මේ ක්ෂේත්‍රවල ද ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගැනීමට ඉන්දුනීසියානු රජය කැමැත්තෙන් සිටින බව ද තානාපතරියා අමාත්‍ය විජිත හේරත් මහතාට දන්වා සිටියා ය.

එරට ඓතිහාසික බැංඩුන්ග් (Bandung) සමුළුව පවත්වා වසර 70ක් පිරෙන බැවින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බැංඩුන්ග් සමුළුවට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන බව ඉන්දුනීසියානු තානාපතිවරිය අමාත්‍යවරයා වෙත දන්වා සිටියාය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.