පරිසර දිනයට සමගාමීව පැළ 1,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

පරිසර දිනයට සමගාමීව  පැළ 1,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක්
  • SocialShare:

ලෝක පරිසර දිනයට සමගාමීව බස්නාහිර පළාත තුළ පැළ 1,000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(05) ආරම්භ කෙරිණ.


බත්තරමුල්ල - පොල්දූව විකල්ප මාර්ගයේදී ඇරඹි මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එකාබද්ධව සිදුකරනු ලබන ව්‍යාපෘතියකි.
රුක් රෝපණ වැඩසටහනින් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා : “රටේ සංවර්ධනයත් සමග හරිත වටපිටාවක් නිර්මාණය කරගැනීමත් එය ආරක්‍ෂා කරගැනීමත් අත්‍යාවශ්‍ය කාරණයක්. වෘක්‍ෂලතා වලින් සමන්විත හරිත පරිසරයක ජීවත්වීම මනුෂ්‍යයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වෙනවා. පරිසර වායුව පිරිසිදු කිරීමත්, උෂ්ණත්වය පාලනය කිරීමත් වෘක්‍ෂලතා මගින් සිදු කෙරෙනවා. මාර්ග දෙපස රුක් රෝපණ ව්‍යාපෘතිය නිසිපරිදි නඩත්තු කර, සුවපහසු පරිසරයක් මගී ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල අමාත්‍යංශ මට්ටමින් සිදු කරනවා.
ආණ්ඩුව ලෙස රාජ්‍ය ආයතන මූලික කරගනිමින් පැළ රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. අලුතින් වනාන්තර පහක් රක්‍ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර පරිසරය ආරක්‍ෂා කිරීමේ ජාතික ක්‍රියාමර්ග පරිසර අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ගෙන තිබෙනවා. ප්‍රධාන මාර්ගවල පමණක් නොව අධිවේගී මාර්ග පද්ධතිය තුළ ද පවතින ඉඩකඩ සැලකිල්ලට ගෙන මෙම රුක්රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.”
මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා : “ශ්‍රී ලංකන් ගුවන් සේවාව පසුගිය ආණ්ඩු කාළවලදී බංකොලොත් කරලයි තිබුණේ. ශ්‍රී ලංකන් එක මුදලටවත් ගන්න කෙනෙක් හිටියේ නෑ. නව ආණ්ඩුව බලයට පත්වී පසුගිය හය මාසය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගොඩගන්න විශාල කාර්යභාරයක් කළා. අලුතින් එක්වූ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු ගුවන් යානය අපට ලැබුණු ඉතා වටිනා සම්පතක්. හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන සුළු පිරිසක් ඉන්නවා. ඒගැන කණගාටු වෙනවා. පසුගිය අවුරුදු තුනක් පුරාවට ගුවන් ගමන් සඳහා භාවිතා නොකළ යානා තුනක් ධාවනයට එක් කිරීම සඳහා මේ වනවිට අලුත්වැඩියා කරමින් පවතිනවා. වෙන රටවල් එක පාර ගුවන් යානා දහයක් විස්සක් එකවර මිළදී ගන්නවා. හැබැයි අපි ගත්ත එක යානාව රටේ ජනතාව ආදරයෙන් පිළිගත්තා.”
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කපිල සී. කේ. පෙරේරා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් දර්ශිකා ජයසේකර, බස්නාහිර පළාත්භාර අධ්‍යක්‍ෂ දර්ශන රුවන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.