ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් වර්තමාන තරුණ වෘත්තිකයන් වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් ඉටු කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් වර්තමාන තරුණ වෘත්තිකයන් වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් ඉටු කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

ජාතික වැදගත්කමක් ඇති කරුණු සඳහා වර්තමාන තරුණ වෘත්තිකයන්ට වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙ අද (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති,  ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ 50 වන සංවත්සර උළෙල අමතමින් ඇය මේ බව සදහන් ක⁣ළාය.

ඊට සමගාමිව දැනට ජීවත්ව සිටින  සංගමයේ ජ්‍යේෂ්ඨයින් ඇගයීමත්, 50 වන සමරු මුද්දරය නිකුත් කිරීමත්, අගමැති තුමියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී  තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ සංවිධානය (OPA)  ශ්‍රී ලංකාවේ වෘත්තීය ප්‍රජාව එක්සත් කරමින් ඔවුන්ගේ විශේෂඥ දැනුම, අදහස් සහ දායකත්වය වෙනුවෙන් සාමූහික හඬක් බවට පත්වීමට වසර පහක් පුරා දැරූ අඛණ්ඩ ප්‍රයත්නය අගය කරන බවත්,  OPA හි සුවිශේෂීත්වය වන්නේ එහි පරිමාණය සහ විෂය පථය බවත්,  වෘත්තීන් 34ක් නියෝජනය කරන, සාමාජික සංගම් 52කින් සමන්විත, වෘත්තීයවේදීන් 60,000ක් පමණ නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය ලෙස, ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය තුළ OPA ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් සඳහන් කළාය.

එසේම, OPA යනු හුදෙක් සංවිධානයක් පමණක්ම නොව, වෘත්තීය ප්‍රමිති සහ ජාතික සංවර්ධනය සඳහා පොදු කැපවීමක් සහිත විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරන වේදිකාවක් වන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය,

ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නීතිය, නාගරික සැලසුම්කරණය වැනි ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන අතරෙම, රටේ තිරසාර හා සාධාරණ සංවර්ධනයක් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, සදාචාරාත්මක ප්‍රමිතීන් සහ රටට අවශ්‍ය දිගුකාලීන දැක්මක් නිර්මාණය කරන බව පෙන්වා දුන්නාය,

 එසේම, වර්තමානයේ පරිවර්තනීය රටක් නිර්මාණය කරන මොහොතක, ඒ වෙනුවෙන් නව අදහස් උත්පාදනය කිරීමටත්, ඒ හා සම්බන්ධ සාකච්ඡා පහසු කිරීමටත් OPA වැනි සංවිධානවලට  වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය,

තරුණ වෘත්තිකයන්ගේ සංසදය ශක්තිමත් කිරීමටත්, ජාතික වැදගත්කමක් ඇති කරුණු වෙනුවෙන් තරුණ වෘත්තිකයන්ට වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් ඉටුකරලීම  දිරිමත් කිරීමටත් රජය සූදානම්ව සිටින බව කීවාය.

එසේම, වෘත්තීයවේදීන්ට හුදකලා භූමිකාවකට එහා ගිය විශාල වගකීමක් ඇති බව තරුණ පරම්පරාව තේරුම් ගැනීම වැදගත් බවත්,  උපදේශනය ප්‍රවර්ධනය කිරීම, සදාචාරාත්මක ප්‍රමිති තහවුරු කිරීම සහ සාමූහික නායකත්වය දිරිමත් කිරීම මගින්  ශ්‍රී ලංකාවේ වෘත්තීය ප්‍රජාවට දිගටම මඟ පෙන්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මෙම අවස්ථාවට ශේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා, හිටපු  කථානායක කරු ජයසූරිය, විද්වත්  වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති නීතීඥ  සුජීව ලාල් දහනායක, මහලේකම් තිසර ද සිල්වා යන මහත්වරුන් ඇතුළු වෘත්තීයවේදීන් රැසක් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.