ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළව රාජ්‍ය සහ පෞද්ගලික සියලු මාධ්‍ය සංවිධාන තුළින් අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
මාධ්‍ය සංවිධානවලට, මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අන්තර්ගත නිර්මාණකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමටත්, සුරක්ෂිත සහ වගවීමෙන් යුක්ත රාමුවක් තුළ පොදු උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිවන ප්‍රශස්ත පරිසරයක් නිර්මාණය කිරීමත් මෙහෙවර කර ගනිමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනයට පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ පැවැති සාකච්ඡාවේ දී දැනට සකස් කර ඇති ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතෙහි සිදුවිය යුතු සංශෝධන, අලුතින් ඇතුළත් විය යුතු කරුණු, භාෂා ත්‍රිත්වයෙන් ම කෙටුම්පත සම්පාදනයේ වැදගත්කම, ප්‍රතිවිරෝධතා, මෙහෙයුම් කමිටු ක්‍රියාකාරීත්වයන් සහ අභිමතාර්ථ පිළිබඳව මාධ්‍ය සංවිධාන තුළින් යොමු කරන ලද අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා ලදී.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ රජය ලෙස ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීම යන කරුණු දෙක පිළිබඳව අවධානය යොමු කරන බවයි.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් මීට පෙර පැවැති සාකච්ඡාවල දි මුහුණදීමට සිදු වූයේ ආණ්ඩුවේ බලය යොදා ගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සීමා පැනවීම් බවත්, අද වනවිට ආණ්ඩුවේ මාධ්‍ය එයින් ඔබ්බට ගොස් ඇති බවත්, අනෙකුත් පෞද්ගලික මාධ්‍ය ආයතන, හිමිකරුවන්, පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන බව ද පැවසීය. මෙම සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය තුළින් පුද්ගලයාගේ ගරුත්වය, පෞද්ගලික නිදහස, අනන්‍යතාව ආදී සියලු දේ සදහා ඇතිවන බලපෑම අවම කරන්නේ කෙසේ ද යන්න මේ අවස්ථාවේ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී මුලිකත්වය ගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.
මෙම කාර්ය ඉටු කිරීමේ දී පෞද්ගලිකව අමාත්‍යවරයා ලෙස තමාට හෝ රජයට ගෞරවයක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද අවශ්‍ය වනුයේ මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. මෙම කාර්යය සඳහා මේ දක්වා දායකත්වයන් ලබා දී තිබෙන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පිරිස් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා කෙටුම්පතට සංශෝධන සිදු කරමින් ඉදිරියට යාමේ ක්‍රියාවලිය මෙහිදී වඩාත් පහසු වනු ඇති බවත් එය වඩා ඉක්මන් සහ පහසු වනු ඇති බව ද සඳහන් කළේ ය. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ දායකත්වයෙන් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. . ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.
මෙම කාර්යයට සක්‍රීයව දායක වන ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන සියල්ලටම ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරාධනා කර ඇති බැවින් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඉදිරි සති 06 ක කාලය තුළ මෙම කාර්යය සම්පූර්ණ කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදීම අත්‍යාවශ්‍ය වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. .
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ලබන සැප්තැම්බර් මස වන විට මෙම කාර්යය සම්පූර්ණ කිරීමට ලැබෙනු ඇති බවට තමා අනුමාන කරන බව ද පැවසී ය.
මෙහිදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ සාකච්ඡා ඉල්ලා ඇති පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, ඩිජිටල්කරණ, මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය වැනි ව්‍යාපෘති සඳහා ද නව ප්‍රවේශයක් ලබාදෙමින් මේ සමඟ සම්බන්ධ වන මාධ්‍ය සංවිධාන සමග ඉදිරියට ගමන් කිරීම වැදගත් බවයි. උතුරු නැගෙනහිර මාධ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග ද සාකච්ඡාවක් පැවැත්වීම සුදුසු බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.