මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සදහා සෞඛ්‍ය අංශයේ මෙන්ම අනෙකුත් අංශවල විද්වතුන්ගේ විද්වත් අදහස් ලබා ගැනීමේ අරමුණින් විශේෂ විද්වත් කතිකාවතක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.
මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම ඉදිරි දසවසරක කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී පුළුල්ව සලකා බැලීමට ද නියමිත ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලසුම් අංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකය මගින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සිදුකරන අතර, නිවාරණ සේවා, රෝග නිවාරණ සේවා, පුනරුත්ථාපන සේවා, සෞඛ්‍ය පරිපාලනය සහ සෞඛ්‍ය මානව සම්පත් ඇතුළු සියලු අංශයන් ආවරණය වන පරිදි ඉදිරි වසර දහය සදහා යෝජිත මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට නියමිතය.
අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කාර්යයේ දී අවශ්‍ය නායකත්වය මෙන්ම මඟපෙන්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් ලබා දෙනු ලබයි.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දෙන ලද්දේ 2025 වසරේ සිට 2035 වසර දක්වා වු ඉදිරි වසර 10 සදහා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය පිළිබඳ සැලසුම් කිරීමට අදාළ ව මුලික විද්වත් කතිකා අද දින සිදු කරන බවත්, එහිදී සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රතිපත්ති, වැඩපිළිවෙල, ඉලක්කයන් කෙසේ සකස් විය යුතු ද යන්න සාකච්ඡාවට බදුන්වන බව ද පැවසීය. මෙම සැලසුම් සකස් කිරීමේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුළත් කරුණු ද ඉවහල් කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි අභියෝගයන්, නව ගෝලීය සහ දේශීය තත්ත්වයන් අධ්‍යයනය කරමින් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරෙන බව ද පැවසීය.
මෙම කටයුත්ත ජාතික වැදගත්කමකින් යුක්ත වන බවත්, සෞඛ්‍ය යනු මානව අයිතියක් පමණක් නොව, සමාජ සහජීවනය, ආර්ථික සමෘද්ධිය සහ දිගුකාලීන ජාතික සංවර්ධනය සඳහා වූ පදනමක් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා සියලුම පුරවැසියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජයට වගකීමක් ඇති බව ද පැවසීය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ ප්‍රජා මට්ටමේ සේවාවන් පුළුල් කිරීම මෙහිදී ප්‍රමුඛ වන බවත්, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම මෙමගින් සහතික කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජනතාවට වඩා විධිමත් හා සමානාත්මතාවයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ මානව, මූල්‍ය සහ භෞතික සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට සැලසුම් සකස් කිරීම සහ ගෝලීය වශයෙන් වැදගත් දීර්ඝ කාලීන සෞඛ්‍ය අරමුණු සාර්ථකව ළඟා කර ගැනීම ප්‍රමුඛ කර ගනිමින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලබයි.
ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව, බෝවන හා බෝනොවන රෝග මර්දන වැඩසටහන් විධිමත් හා කාර්යක්ෂම වීම, සෞඛ්‍යය ප්‍රවර්ධනය වැඩිදියුණු වීම සහ සෞඛ්‍ය සඳහා වැය වන පුද්ගලික වියදම් අඩු වීම මෙම නව සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් ලැබෙන මෙරට ජනතාවට මූලික ප්‍රතිලාභ වේ.
දේශපාලන නායකත්වය, සෞඛ්‍ය සඳහා දායකත්වය සපයන ගෝලීය ආයතන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, අනෙකුත් අමාත්‍යංශ වල නිලධාරීන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් හා පර්යේෂකයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විවිධ නිලධාරීන් හා වෘත්තීය සංගම් සහ ප්‍රජා සේවා සංවිධාන නියෝජිතයන් මෙහි දී තම විද්වත් අදහස් මෙන්ම යෝජනාවන් ඉදිරිපත් කරන ලදී.
මෙහි දී ලබා ගන්නා සියලු අදහස් යෝජනාවන් සියල්ල කැටිකොට අනාගත සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් වඩාත් ඵලදායී සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින්, සෞඛ්‍ය සදහා දායකත්වය සපයන ගෝලීය ආයතන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පර්යේෂකයින්, ප්‍රජා සේවා සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.