සෑම පැය 04 කට ම වතාවක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන අතර, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු සඳහන් කළේ මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් අද (29) කොළඹ දී සංවිධානය කර තිබූ පා ගමනට එක් වෙමිණි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ක්‍රමවත් සහ ස්ථීරසාර අඛණ්ඩ වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් මාර්ග අනතුරුවලින් වටිනා ජීවිත අකාලයේ අහිමිවීම අතිශය ශෝචනීය තත්ත්වයක් බවයි. විශේෂයෙන්ම මෙහි දී මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර මෙන් ම මාර්ග පද්ධතිය ද ඉතා දියුණු තත්ත්වයකට පත්වෙමින් පවතින අවධියක එම ක්ෂේත්‍රයන් හා සළකා බැලීමේ දී රිය අනතුරු සහ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විද්‍යාත්මක සොයාබැලීමක් හා ඒ හා සම්බන්ධ පර්යේෂණ වැඩසටහන් හෝ අධ්‍යයනයන් මෙරට සිදු ව නොතිබීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා පැවසී ය.
මාර්ග ආරක්ෂාව සහ මහමඟ අනතුරු වැළැක්වීම "Road Safety and Accident Prevention" යන්න තේමා පාඨය කර ගනිමින් පැවැති මෙම පා ගමන අද (29) උදෑසන කොළඹ ගාලු මුවදොරින් ආරම්භ ව ලිබර්ටි වටරවුම ඔස්සේ විහාරමහාදේවී උද්‍යානයට පැමිණීමෙන් අනතුරුව මහජනතාව දැනුවත් කිරීමේ උත්සව සභාවකින් පසු ව අවසන් කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය, මාර්ග රථවාහන අනතුරු වැළැක්වීම පිළිබඳ SLMA විශේෂඥ කමිටුව, ආරක්ෂක අංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් එ්කාබද්ධව මෙම පාගමන සංවිධානය කර තිබුණි. .
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම පාගමන මාර්ග අනතුරු වැළැක්වීම සහ මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ ව දැනුවත් කිරීම උදෙසා පවත්වන වැඩසටහනක් බවත්, මෙරට මාර්ග අනතුරු සහ ඒ හේතුවෙන් සිදුවන මරණ විශාල ප්‍රමාණයක් මෙවැනි වැඩසටහන් සංවිධානය තුළින් අවම කර ගැනීමට සමාජයේ අවධානය යොමු කළ හැකි බව ද පැවසී ය. විශේෂයෙන්ම අනතුරු වැඩිවීම තුළ සෞඛ්‍ය අංශවලට ප්‍රතිකාර සේවාවන් සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
මාර්ග භාවිතයේ දී විනයක් ඇති කිරීම ඉතාම වැදගත් වන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා වගකීමක් සහිතව මාර්ග භාවිතා කිරීමෙන් වළක්වා ගත හැකි අනතුරු මෙන් ම ඒ හා සම්බන්ධ මරණ ද විශාල වශයෙන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද පැවසී ය. එලෙස අනතුරු අවම කර ගැනීම තුළින් සෞඛ්‍ය සේවා අනෙකුත් සේවාවන් සදහා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු ව යෙදවිය හැකි බවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල මීට වඩා කාර්යක්ෂම ව සේවාවන් හි ද යෙදවිය හැකි වනු ඇති බව ද පැවසී ය.
මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට මාර්ග ආරක්ෂාව ශක්තිමත් විය යුතු බවයි. මාර්ග අනතුරු හේතුවෙන් ගිය වසරේ මරණ 2,200 කට ආසන්න සංඛ්‍යාවක් සිදු ව ඇති බව ද ඒ මහතා පැවසී ය. අනතුරුවලට ලක් ව ආබාධ වන පුද්ගලයින්, වාහනවලට අනතුරු සිදුවීමෙන් දැරීමට වන පිරිවැය, සෞඛ්‍ය සේවාවට වන ආතතිය සහ ගැටළු වශයෙන් මේ සියල්ල ගත් විට මෙරට වියදමෙන් සියයට 3.7 ක පමණ මේ සදහා යෙදවෙන බව ද එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන වාරික මුදල මෙන් තුන් ගුණයක් පමණ වන බව ද පැවසී ය.
මෙම පාගමන සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, ලේකම් ආසිරි හේවමාලගේ, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, මහජන නියෝජිතයින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මුලික සංවිධාන, පෞද්ගලික අංශය සහ වෙළෙඳ ප්‍රජාව, කලාකරුවන් ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.