ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹේ

ප්‍රාථමික සෞඛ්‍ය සේවා  ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹේ
  • SocialShare:

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි.


මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වන බවත්, රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙනයනු ලබන වැඩපිළිවෙළෙහි තවත් එක් කොටසක් ද වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසී ය.
මෙම සෞඛ්‍ය පද්ධතිය තුළින් සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමටත්, පුළුල් සංවිධානාත්මක සත්කාර සේවාවක් ලබාදීමටත් එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත් ව ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා ඇති රෝහල් සහ සායන "පොකුරු" ලෙස කාණ්ඩගත කර ඇති බවත්, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වාර්තා, X-ray, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල, බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන් ම රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්ත අධ්‍යයනයට ඉඩ සැලසෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් රෝගියාගේ සෞඛ්‍යය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කර හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීමට පහසු වන බව ද පැවසී ය.
එමෙන් ම රසායනාගාරයක් නොමැති ප්‍රාදේශීය රෝහලක් නම් එකම පොකුර තුළ ඇති රෝහලකට පරීක්ෂණ සාම්පල යැවිය හැකි වන පරිදි මෙම පද්ධතිය සකස් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය නැවත නැවත පරීක්ෂණ කිරීම අඩු කිරීමට ද බෙහෙවින් උපකාරී වෙමින් රෝගීන්ට අවශ්‍ය සත්කාර කාර්යක්ෂමව ලබා ගැනීමට වඩාත් පහසු වන බව ද වැඩිදුරටත් පැවසී ය.
රෝගීන්ට බොහෝ විට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විවිධ රෝහල් සහ සායන වෙත යාමට සිදු වන අතර, නැවත පරීක්ෂණ කිරීමට, වෛද්‍ය වාර්තා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන ඒමට හෝ ප්‍රතිඵල සඳහා දිගු කාලයක් බලා සිටීමට ද සිදුවන අවස්ථා නිරීක්ෂණය වී ඇත. එම අපහසුතා මඟහැර කාලය ඉතිරි කරමින්, පිරිවැය අවම කරමින්, වඩා හොඳ සත්කාර ප්‍රතිකාර ලබාදෙමින් මෙම නව සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග කාර්යක්ෂම සහ රෝගීන්ට හිතකර සෞඛ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කිරීමට ද මෙය උපකාරී වනු ඇත. තව ද අනවශ්‍ය ප්‍රමාදයන් හෝ වියදම් නොමැතිව, නියම වේලාවට, නියම ස්ථානයේ, ජනතාවට නිවැරදි සත්කාර ලැබෙන බව එමඟින් තහවුරු කිරිම ද මේ තුළින් ඉටුවන සේවාවකි.
මෙම පද්ධතිය සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය Health System Enhancement Project (HSEP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ Asian Development Bank (ADB) සහාය ඇතිව සංවර්ධනය කර ඇත. මෙම නවීන සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සහ තාක්ෂණික සහාය ද ලබා දී ඇත.
ගල්නෑව, එප්පාවල, තලාව, රාජාංගනය යාය 5 සහ යාය7, නෑගම්පහ, කටියාව යන ප්‍රාදේශ්‍රීය රෝහල් සහ ගල්නෑව, තලාව සහ රාජාංගනය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය හරහා තඹුත්තේගම මූලික රෝහල සමග ජාලගත කර ඇත.
ඉදිරියේ දී මෙරට සියලුම රජයේ රෝහල් අදියරෙන් අදියර මෙම පද්ධතිය සමග ජාල ගත කිරිීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත. පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා තඹුත්තේගම මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (සෞඛ්‍ය තොරතුරු) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම,අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නෙලුම් සමරුතිලක,අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන කැදන්ගමුව, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින සෞඛ්‍ය අංශ ප්‍රධානී Dai Ling , ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක විශේෂඥ වෛද්‍ය කුමාරි නවරත්න,ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන නිලධාරී හේරත් බණ්ඩා ජයසුන්දර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළුව සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.