ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ නියෝජිතයෝ සෞඛ්‍ය ඇමති හමුවෙති

ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ නියෝජිතයෝ සෞඛ්‍ය ඇමති හමුවෙති
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහි දී ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනය (LDS)  මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරනු ලබන පරිත්‍යාග හා‌ සේවා  පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබී ය.

මෙම හමුවේ දී එම පූණ්‍ය ආයතනය විසින් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කරන ලද රෝද පුටු සංචලන ආධාර ව්‍යාපෘතිය සහ පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරගෙන යාමට එම ආයතනයේ එකඟතාවය ද අමාත්‍යවරයාට පළ කරන ලදි.

පිළිකා ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා අධික වටිනාකමකින් යුත් ඖෂධ එම ආයතනය දැනටමත් මෙරට ට පරිත්‍යාග කර ඇති බව ද මෙහි දී අනාවරණය විය.

මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වත්මන් රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සඳහා පවතින සම්පත් උපයෝගී කරගනිමින් සහ සැලසුම් සහගත ව විසඳුම් ලබා‌දෙමින් මනා කළමනාකරණයකින් යුතු ව කටයුතු කරන බව පැවසී ය. එහි දී රෝද පුටු සංචලන ආධාරක ව්‍යාපෘතිය සහ පිළිකා ඖෂධ ප්‍රදානය වැනි ව්‍යාපෘති ඉතා වැදගත් වූ ප්‍රදානයන් ලෙස සලකන බව ද සඳහන් කළ අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන් ම රජයේ ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඕනෑම ක්ෂේත්‍රයකින් සහයෝගය දැක්විය හැකි බව ද පැවසී ය. එමෙන් ම දැනට වසර 06 ක පමණ කාලයක සිට මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනය කටයුතු කිරීම පිළිබඳ ව සිය කෘතවේදීත්වය පළ කරන බව ද සඳහන් කළේ ය.

ලොව පුරා සිටින ප්‍රජාවන්ට සහ ජනතාවට උපකාර කිරීමට සහ ඔවුන් ඔසවා තැබීමට සිය කැමැත්තෙන්  කටයුතු කරන ගෝලීය ක්‍රිස්තියානි පුණ්‍යායතනයක් ලෙස තම ආයතනය මෙරට ජනතාවට ද වඩා උසස් සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් ලබාදීමට මෙන් ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අවශ්‍ය සහයෝගය නිරතුරුව ලබාදීමට කටයුතු කරන බව මෙහි දී එම කණ්ඩායමේ ප්‍රධානී Kelly R. Johnson මහතා පැවසී ය. වැඩිදුරටත් අදහස් දැක් වූ එම නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳ ව  වැඩිදුර තොරතුරු දැන ගැනීමටත්, ඉදිරියට සිය ආධාර ව්‍යාපෘති කරගෙනයාමටත්, මෙරට අවශ්‍ය්‍යතා හඳුනාගැනීමටත් අවස්ථාව ලබාදීම පිළිබඳ ව සිය ස්තූතිය අමාත්‍යවරයාට පිරිනමන බව ද සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියටත් කැප වී කටයුතු කරන බවට  එම නියෝජිතයින් ඇමැතිවරයාට සහතික විය.

මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙරට සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා පිළිබඳ ව  නියෝජිත පිරිස දැනුවත් කළ අතර, විශේෂයෙන් ම නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් හෘද කැතීටකරණ පරීක්ෂණාගාර ( Cath Lab)  අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විඡේසූරිය, (LDS) පුණ්‍යායතනයේ ආසියා කලාප සභාපතිත්වයේ දෙවන උපදේශක Kelly R. Johnson, තාවකාලික කටයුතු සදහා අධ්‍යක්ෂ D.Chad Furness, ආසියානු කලාපීය මානුෂීය අධ්‍යක්ෂ Jared Wong, ආසියානු කලාප සුභසාධන සහ ස්වයං විශ්වාසය පිළිබඳ අධ්‍යක්ෂ Mickey Lui යන මහත්වරුන් එක්ව සිටිය හ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.