ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී

ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී
  • SocialShare:

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත්, වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත්, මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව, මුඛ පිළිකාව ලෙස වාර්ථා වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  අදට (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ය. මෙම උත්සවය කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේ දී පැවැත්විණි.

සුවැති මුවක් - සුවැති මනසක් යන්න තේමා කරගනිමින් මෙම වර්ෂයේ දී ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය එක්ව මෙම ජාතික උත්සවය සංවීධානය කර තිබිණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය මෙවර 12 වන වරට සමරනු ලබන අතර 2013 වර්ෂයේ දී ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය මගින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

මුඛ රෝග ලොව සුලභම රෝග ගණය ලෙස හඳුනාගෙන ඇති බවත්, ලොව ජනගහනයෙන් බිලියන 3.7 ක්, එනම් අඩකට ආසන්න ප්‍රමාණයක් මුඛ රෝගවලින් පීඩා විඳින බවත්, සිහිපත් කළ අමාත්‍යවරයා  මුඛ රෝග තමන්ගේ ම වැරදි පුරුදු හා බැඳී පවතීන බව ද පැවසී ය.

අධික සීනි භාවිතය, නිසි පරිදි දවසට දෙවරක් දත් නොමැදීම, ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතා නොකිරීම, දුම්කොළ හා පුවක් සැපීම, මත් වතුර පානය මුඛ රෝග ඇතිවීමට ප්‍රධාන අවදානම් සාධක ලෙස පෙන්වා දුන්  අමාත්‍යවරයා මෙම අයහපත් පුරුදුවලින් මිදෙන්නේ නම් මුඛ රෝග මුළුමනින් ම වළක්වා ගත හැකි බව ද අවධාරණය කර සිටියේ ය.  

ලෝක මුඛ සෞඛ්‍ය දිනය, මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම ඉහළ නැංවීම සඳහා වැදගත් වේදිකාවක් සපයන අතර ම ශ්‍රී ලාංකිකයින්ගේ සමස්ත සෞඛ්‍යය, යහපැවැත්ම හා ජීවන තත්ත්වය නංවාලීම සඳහා ද වැදගත් අවස්ථාවක්  නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පෙර පාසල් සහ පාසල්වල  01 ශ්‍රේණියේ සිට 07 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ දන්ත සහ මුඛ සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිකාර පාසල් දන්ත චිකිත්සකවරුන් විසින් සිදු කරන බව ද, පාසල් දන්ත චිකිත්සකවරුන් යනු සමස්ත දන්ත වෛද්‍ය සේවයේ වැදගත් කාර්යයක් ඉටු කරන කණ්ඩායමක් ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා  ඔවුන් පෙර පාසල් සහ පාසලේ 01 වසරේ සිට 07 වසර දක්වා දරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ වගකීම දරමින් ප්‍රතිකාර කරන බව ද පැවසී ය.

වර්තමානය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත ව දන්ත වෛද්‍යවරුන් 1700 ක් පමණ සේවය කරන බවත්, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, පාසල් දන්ත චිකිත්සකවරු සහ දන්ත වෛද්‍ය සේවයට අදාළ අනෙකුත් සියලු  වෘත්තිකයින්  ඉතා වැදගත් සේවයක් නිබඳව ඉටු කරන බව ද  පැවසී ය.  

මුඛ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය සදහා  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2025 වර්ෂයේ පළමු කාර්තුව සඳහා රු. මිලියන 81.5 ක මුදලක් වෙන් කර තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා ෆ්ලෝරයිඩ් සහිත දන්තා ලේප භාවිතය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ම පිළිගෙන තිබෙන බවත්, ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතයට මෙරට ජනතාවට හුරුවන්න කියන පණිවිඩය ජනතාව වෙත  ලබා දෙන්න යන ඉල්ලීම ද අමාත්‍යවරයා මෙහි දී සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ ය.

මාර්තු  සහ අප්‍රේල් යන මාස දෙක පුරාවට දිවයින ම ආවරණය වන පරිදි  මුඛ සෞඛ්‍ය වෙනුවෙන් විවිධ සෞඛ්‍ය වැඩසටහන්, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පෙර පාසැල්, පාසැල් දරුවන් මෙන් ම ඉලක්ක ගත කණ්ඩායම් මෙන් ම මෙරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය එක් ව කටයුතු සම්පාදනය කර ඇති අතර එම වැඩසටහන් මේවන විට ක්‍රියාවට නංවා ඇත.

මෙරට ඉගෙනුම ලබන ලක්ෂ 40 ක් වන පාසැල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂණය  වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකසන ලද නව චක්‍රලේඛය ප්‍රකාශයට පත් කිරීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් මෙහි දී  සිදු කරන ලද අතර මෙවැනි චක්‍රලේඛයක් එළිදැක්වීම ප්‍රථම වරට සිදුවන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන කුමාර වික්‍රමසිංහ, සුනිල් ගලගම,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය රුවන් ජයසිංහ, ලේකම් සාරංග වික්‍රමතිලක, HALEON සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චානක වන්නිආරච්චි යන මහත්වරුන් ද, පේරාදෙනිය සහ ශ්‍රී ජයවර්ධනපුර දන්ත පීඨවල පිඨාධිපතිවරුන්, දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පාසල් දරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු විශල පිරිසක් සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.