සුරක්ෂා සිසු රක්ෂණාවරණය තුළින් දරුවන්ට නියම ප්‍රතිලාභ ලැබෙන පරිදි කටයුතු කිරීම කෙරෙහි අප සියලු දෙනාගේ ම වගකීමක් බව , අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අධ්‍යාපන අමාත්‍යංශය, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සියලු දෙනා ඒ වෙනුවෙන් කැප විය යුතු බවත් දරුවන් පාසල් පද්ධතිය තුළ සහ අධ්‍යාපනය තුළ රඳවා තබා ගැනීමට මේ සියලු සුබසාධන කටයුතු සිදුකරන බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.
අග්‍රාමාත්‍යතුමිය මේ බැව් පැවසූයේ අද(11) අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවති, සුරක්ෂා සතියට සමගාමී ව පැවැත් වූ සුරක්ෂා කාඩ්පත බෙදා දීම සහ ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහනට එක් වෙමිනි.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්හි පළමු ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන වයස අවුරුදු 05ත් 21ත් අතර වයස් සීමාවේ පසුවන සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන වයස අවුරුදු 4ත් 21ත් අතර වයස් සීමාවේ පසුවන සිසුන් ලක්ෂ 40ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණය අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය අතර ගිවිසුමකට එළඹ ඇත.
මීට පෙර ද ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැසටහන 2017 සිට 2022 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණු අතර නැවතත් 2024 ජූලි මාසයේ සිට වසර 03ක කාලයක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන එකඟතාවකට පැමිණ ඇත.
රජය මේ සඳහා වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 7112කි. ඒ අනුව සෞඛ්‍ය රක්ෂණාවරණයක්, අනතුරු රක්ෂණාවරණයක් සහ ජීවිත රක්ෂණාවරණයක් එම දරු දැරියන් වෙනුවෙන් සැපයීමට තීරණය කර තිබේ.
මෙමඟින් පහත සඳහන් ප්‍රතිලාභ සිසුන් හට ලබා ගත හැකි වේ.
සෞඛ්‍ය රක්ෂණාවරණය
• නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ - රු. 300,000 /= (රජයේ/ පෞද්ගලික රෝහල්)
• බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ රු. 20,000/-
• අසාධ්‍ය රෝග ප්‍රතිලාභ රු. 1,500,000/=
අනතුරු රක්ෂණාවරණය
• පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා - රු. 200,000/-
• සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා - රු.150,000/=
• තාවකාලික අකර්මණ්‍යතා සඳහා රු. 25,000/= සිට රු100,000/= දක්වා
ජීවිත රක්ෂණාවරණය වාර්ෂික ආදායම රු.180,000/= කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව "අස්වැසුම '' වැඩසටහනට අයත් පවුල් වල සිසුන්ගේ මාපිය / නිත්‍යනුකූල භාරකරු වියෝවකදී සිසු දරුවකු සඳහා රු. 75,000/= බැගින් හිමිවේ. එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/= වන අතර පවුලේ සියලුම සිසුන් අතර එම මුදල සමානව වෙන් කෙරේ. මාපියන් දෙදෙනාගේම හෝ නිත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමිවේ.
මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හිමිකම් පත්‍රය ඇතුලු අදාළ අනෙකුත් සියලුම ලිපි ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයේ https://www.srilankainsurance.lk/suraksha/ වෙබ් අඩවිය වෙත උඩුගත කිරීම (Upload) කළ යුතු අතර සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2025.03.10 - 2025.03.14 සතිය "සුරක්ෂා සතිය" ලෙස නම් කර ඇත. සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ කාඩ්පත් සංකේතාත්මක ව බෙදා දීම අද (2025/03/11) දින සිදු වූයේ ඒ අනුව ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් තමයි දරුවන් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ රඳවා තබා ගැනීම. ඒ සඳහා තමයි රජය විවිධ ආකාර සුබසාධන වැඩකටයුතු කරන්නේ. පෝෂණීය ආහාර වේලක්, නිල ඇඳුම්, පාවහන් ලබා දීම, සනීපාරක්ෂක තුවා ආදිය ලබා දෙමින් මේ සියල්ල සිදු කරන්නේ දරුවන්ට ලබා දිය යුතු හොඳ ම පරිසරය සකස්කර දීමට යි. අධ්‍යාපනය කියන්නේ විභාගයක් සමත් වෙලා සහතිකයක් අරගෙන ගෙදර යන එක නොවෙයි. ඉගෙනුම් පරිසරය තුළ දරුවාට අවශ්‍ය වටිනාකම්, ආකල්ප සියල්ල ම ඒ ඉගෙනුම් පරිසරය තුළ තිබිය යුතු යි. ඒ ඉගෙනුම් පරිසරය දරුවන්ට, විශේෂයෙන් ම පවුලට බරක් නොවිය යුතු යි. පවුලට, දෙමාපියන්ට අවශ්‍ය උත්තේජනයක් ලබා දෙනවා මේ තුළින් තමන්ගේ දරුවන් අධ්‍යාපනය තුළ රඳවා තබා ගැනීමට. මේක අපේ රටේ දරුවන් සමඟ සිදු කරන කටයුත්තක්. මේ වැඩසටහන මීට පෙර ත් ක්‍රියාත්මක වුණා. අපි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ දිර්ඝ ලෙස සාකච්ඡා කරලා අවශ්‍ය සමාලෝචනයන් සහ සංශෝධනයන් කළා. අපිට තිබුණු බාධා සහ ගැටලු හඳුනාගෙන දරුවන්ට උපරි ම ප්‍රතිලාභ ලැබෙන සාර්ථක වැඩසටහනක් බවට පත් කරන්නට දායක වුණු සියලු දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා. මේක නිකම් ම ‘කාඩ්’ එකක් බෙදා දෙන අවස්ථාවක් හෝ තවත් එක් රක්ෂණාවරණයක් ලබා දීමක් පමණක් නොවෙයි. දරුවන් සමඟ කරන වැඩක්. අපේ ‘දරුවන්ට හොඳ ම දේ’ ලබා දෙන්නට ඇත්තට ම ඔබ සියලු දෙනා දක්වන දායකත්වයට නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා. යනුවෙන් ද පැවසුවා ය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, අතිරේක ලේකම්වරුන් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයේ සභාපති නුසිත් කුමාරතුංග, ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගමගේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.