මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගයීමකට ලක් වුවත්, රජයක් විසින් එම නිසි ඇගයීමක් එම සේවාවට ලබාදුන්නේ ද යන්න ගැටළුවක් බවත්, මේ දක්වා නොලැබුණු එම ගරුත්වය නව රජය පවුල් සෞඛ්‍ය සේවාවට ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ජාතික සමුළුව අමතමින් ය.
“රට වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට උරදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ජාතික සමුළුව“ යන තේමාව යටතේ සංවිධානය කර තිබුණු මෙම සමුළුව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (02) පැවැත්විණි.
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට පියවර ගනු ලබන්නේ සමස්ත පුරවැසියාට නිරෝගීමත්, ලස්සන ජීවිතයක් උරුම කර දීම වෙනුවෙන් බවත්, නව රජයේ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් තේමාව සහිත වැඩපිළිවෙළට අනුබද්ධව සෑම පුරවැසියකෙුට ම ලස්සන ජීවිතයක් උරුම කර දීමට රජය සියලු කටයුතු සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
ඉදිරි කාලයේ දී සැලසෙන සියලු සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් සැමවිට ම සියල්ල ම පුරවැසියා ප්‍රමුඛ සහ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා සෞඛ්‍ය සේවාවේ නිරත සියලු කාර්ය මණ්ඩලවල අත්දැකීම් උපයෝගී කර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසිඳු ආකාරයකින් සෞඛ්‍ය සේවාවේ ශ්‍රේණින් අතර මත ඇතිකර ගැටලු යට ගැසීමට ඉඩ නොතබන බව ද මෙහි දී අවධාරණය කර සිටියේ ය.
ඉතිහාසයේ කටයුතු කළ බොහෝ අමාත්‍යවරුන්ට තම වගකීම නිසි අයුරින් ඉටු කිරීමට අපහොසක් වූ විට තම හිතවත් කණ්ඩායම් උපයෝගී කරගනිමින් අනෙකුත් ශ්‍රේණිවලට එරෙහිව යම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කළ ආකාරය මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා මින් ඉදිරියට එවැනි දේ සිඳු නොවන බවත්, සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීන්වල වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තම රජය පෙනී සිටින බව ද සදහන් කළේය.
රෝහල් භෞතික ව කෙතරම් දියුණු කළ ද ජනතාවට සමීප සහ ප්‍රියජනක ස්ථානයක් බවට රෝහල පත්නොවුනහොත් එම සේවාව නිසි අයුරින් ජනතාවට නොලැබෙන බව ද සදහන් කළ අමාත්‍යවරයා ජනතාවට සමීප ව ස්ථානගත ව සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බව ද පැවසී ය. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 12ක මුදල් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර තිබෙන බවත්, ජනතාවට සමීප ව හා කෙටි වේලාවකින්, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ආකාරයට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව බලගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන් ම වත්මන් රජයේ අපේක්ෂාවක් බව ද මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ නිශ්චිත ජනගහනයකට වගකියන සෞඛ්‍ය කණ්ඩායමක් අවශ්‍යය වන බව ය. එවිට කිසිදු පුරවැසියෙකුට ප්‍රතිකාර සේවාව මග නොහැරෙන බව ද පැවසී ය.
කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ කැබිනට් අනු කමිටුවක් මගින් සෞඛ්‍ය සේවාවේ වත්මන් පුරප්පාඩු 9500 ක් අනුමත කර තිබෙන බවත්, එම අනුමැතිය 30,000 දක්වා වැඩි කර ගැනීමට අදහස් කරන බව ද අමාත්‍යවරයා පැවසී ය. මේ සියලු පුරප්පාඩු සම්පුර්ණ කරනු ලබන්නේ දේශපාලන හිතවත්කම් මත හෝ වෙනත් බලපෑම් මත නොව සේවා අවශ්‍යතාවය මත පමණක්ම බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල පිරිසක් එක්ව සිටියහ.