මේ අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු සිසුන් ලෙස අද ඔබට තිබෙන සහ ඔබේ දෙමාපියන්ට තිබෙන සැනසීම ඉදිරියට මේ විද්‍යාපීඨයට ඉදිරියේ දී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ දෙමාපියන්ට ද උරුම කර දීමට කටයුතු කරන්නැ යි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසී ය.
ලේකම්වරයා මේ බැව් පැවසූයේ පසුගිය දා කුලියාපිටියේ අලුතින් ඉදිකොට තිබෙන තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රථම ශික්ෂණලාභී කණ්ඩායම ලියාපදිංචි කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. විද්‍යාපීඨය ඉදිකිරීමේ කටයුතු සඳහා කොරියානු රජය විසින් (KOICA) ඩොලර් මිලියන 2,898කුත් ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 1,112කුත් වෙන්කොට තිබෙි. ඒ සඳහා වැයකොට තිබෙන සමස්ත වියදම මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3,510කි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,
මම ඉහතින් සඳහන් කළේ කුමක් පිළිබඳව ද කියා ඔබ දන්නවා. විශේෂයෙන් ම නවකවදය වගේ දේවල්. මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවක වදය තුරන් කිරීමේ කටයුතු බොහෝදුරට සාර්ථක වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලවලත් ඉතා ම අවම ප්‍රමාණයකින් තමයි එය සිද්ධ වෙන්නේ. මේ ආයතනය ඉතා ම විශේෂයි. මක්නිසාදයත් ඔබ විසින් පිහිටුවන සංස්කෘතිය තමයි ඉදිරියේ පැමිණෙන සහෝදර සහෝදරියන් අතරටත් පැතිර යන්නේ. අද මෙතැනට පැමිණ තිබෙන ඔබටත් ඔබේ දෙමාපියන්ටත් හිතේ සැනසීමක් තිබෙනවා. ඒ සැනසීම ඉදිරියට පැමිණෙන අයටත් ලබා දීමට අඩිතාලම දමන්න ඔබට පුළුවන්.
එමෙන් ම අධ්‍යයන කටයුතු අද දින සිට ආරම්භ කළ ද නිල වශයෙන් ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍යතුමියගේ සහ කොරියානු රජයේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නුදුරු දිනක දී අපේක්ෂා කරනවා. යනුවෙන් ද පැවසී ය.