මෙම වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක්

මෙම වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක්
  • SocialShare:

මෙම වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවත්, ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට  අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය කටයුතු කරන බව ත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

 පසුගියදා(21) පැවති කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කළ "ජාතික කර්මාන්ත විශිෂ්ටතා  සම්මාන උළෙල 2024"  අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය. 

මෙහිදී 2024 වසරේ විශිෂ්ට ජාතික කර්මාන්ත සන්නාම ත්‍රිත්වය ලෙස කුඩා පරිමාණ අංශයෙන් JBRICKS PVT LTD  ආයතනය ද, මධ්‍ය පරිමාණ අංශයෙන්  SINGHE Furniture Manufacturer  PVT LTD ආයතනයද, මහා පරිමාණ අංශයෙන්  EARTHFOAM PVT LTD ආයතනයද අග්‍රාමාත්‍යවරිය අතින් සම්මාන ලබා ගන්නා ලදී.

මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"මේ අවස්ථාවේ ඔබත් සමග එකතුවෙන්න ලැබීම සතුටක්. ආර්ථිකමය අමාරු මේ වගේ කාලෙක ඔබ මෙවැනි ව්‍යාපාරවල නිරත වෙමින් ඉන්න එක අපිට ශක්තියක්. අපි රජයක් ලෙස ව්‍යාපාර ආරක්ෂා කිරීමටත් ,  ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඔබ මෙවැනි ව්‍යාපාරවල යෙදීම අපිට ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙන්න  ඉවහල් වෙනවා.

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා මේ සඳහා හොඳ නායකත්වයක් ලබා දෙන බව මට විශ්වාසයි. කුඩා මධ්‍යම හා මහා ප්‍රමාණයේ ව්‍යාපාර දියුණු කරන්න අත හිත දෙන්න එතුමා කටයුතු කරනවා.

මෙම ව්‍යාපාර මඟින් ආර්ථික ශක්තිය පමණක් නොව, රැකියා අවස්ථා නිර්මාණය වීමත් සිදු වෙනවා. කර්මාන්ත යනු සමාජයේ කොඳු නාරටියයි. ඔබ සැම මෙම කර්මාන්තවල යෙදෙන්නේ සම්පත්වල හිඟතාවය,  සංස්කෘතික බාධක, ස්ත්‍රී පුරුෂ භාවය වැනි ගැටලු රාශියකට මුහුණ දෙමින්  බව අපි දන්නවා. ලංකාව තුළ  ආර්ථික ශක්තිය නගා සිටුවන්න කාන්තා ව්‍යවසායකත්වය ඉතා වැදගත්. අපට අවශ්‍යයි ශ්‍රී  ලංකා යන සන්නාමය ලෝකය පුරා පතුරුවන්න.

සම්මානලාභී ව්‍යවසායකයිනි ඔබේ ගමන මෙතනින් නතර වෙන්නේ නෑ දැන් තමයි ඔබේ ගමන පටන් ගන්නේ. අපි එකතුවෙලා කර්මාන්ත තුළින් අපේ ආර්ථිකය නගා සිටුවන්න එකතු වෙමු." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙහිදී සභාව ඇමතූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා,

"අපි හැමෝගෙම ව්‍යාපාරවලට සන්නාමයක් තියෙනවා. හැම සන්නාමයටම වඩා මේක ශ්‍රි ලාංකික නිෂ්පාදනයක්  කියන එක අපිට වටිනවා.

අපේ අපේක්ෂාව රුපියල ඩොලරයක් කිරීම විය යුතුයි.

ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය දා ඉදිරිපත් කළ 2025 වර්ෂයේ අයවැය මගින් කර්මාන්ත සදහා බොහෝ වරප්‍රසාද ලැබෙනවා. මේ වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පාසල් මට්ටමේ ඉඳන් කර්මාන්ත ව්‍යවසායකත්වය වර්ධනය කිරීම, අපනයන ආදායම වර්ධනය කිරීම , සියලු කර්මාන්ත නඟා සිටුවීම ආදී කර්මාන්ත උන්මාදයක් අපේ රටේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප සමඟ  එකතු වන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු   විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ව්‍යවසායකයන් රැසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.