පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීති

පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිව  දැඩි නීති
  • SocialShare:

අපරාධ සඳහා ලැබෙන දේශපාලන රැකවරණය අද අහිමි වී තිබෙන බවත්, දේශපාලන රැකවරණය අහිමි වූ අපරාධ කල්ලි විදේශයන්හි සිට පවා මෙරට අපරාධ මෙහෙයවන බවත්, එවැනි කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය දින කිහිපයේදී, බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම්  ඉහළගොස් ඇති බවත්, ඒ අනුව මේ වනවිට එම පළාත්වල ආරක්ෂාව තහවුරුකර ඇති බව ද පොිස්පතිවරයා සඳහන් කළේය. අධිකරණයේ ආරක්ෂාව තහවුරු කිරීමටද පොලීසිය මේ වනවිය පියවර ගෙන තිබේ.

සෘජුව හෝ වක්‍රව ත්‍රිවිධ හමුදාවේ සේවය කරන හෝ සේවයඅතහැර ගිය පුද්ගලයින්ගේ සහායද මෙම අපරාධ සඳහා ලැබෙන බවත් , එවැනි බොහෝ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයිද  පෙන්වාදුන් වැඩබලන පොලිස්පතිවරයා ,එම  අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන බලපෑමක් සිදු වී නැතැයිද  කීය. පසුගිය දින කිහිපයේදී සිදු වූ සිදුවීම් සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 09 දෙනෙකු සම්බන්ධ වී ඇතැයිද ඔවුන් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස්පතිවරයා පැවසීය.

මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් සහ කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා  වී තිබේ. මෙම වෙඩිතැබීමේ සිද්ධීන්  17 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර අවසන් බවද  ඒ මහතා සඳහන් කර සිටියේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගෙනතිබේ.

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන  ඇතැයිද, වැඩබලන පොලිස්පතිවරයා  හෙළිකළේය. අද වනවිට දේශපාලන රැකවරණය අහිමි වූ  බොහෝ අපරාධ කල්ලිවිලට මෙරට තුළසිට එම අපරාධ සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන්, එවැනි බොහෝ අපරාධකල්ලි විදෙස් ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

 මෙම පාතාල ක්‍රියා  මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර සහාය නොමදව ලැබෙන බවත් ,විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයනව පුද්ගලයන් රැසක් හඳුනාගෙන ඇති බවත්, එම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට කඩිනම්න් කටයුතු කරන බවද පොලිස්පතිවරයා පැවසීය.  විදෙස්ගතව සිටි අපරාධකරුවන් 19 දෙනෙකු පසුගියදා මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබේ. විදෙස් රටවල සිටින තානාපති කාර්යාලවලද  සහාය ඇතිව, මෙම  කටයුතු සිදුවෙන බවත් ජනපතිගේ පසුගිය ඩුබායි සංචාරයේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට මහජන සහාය අවශ්‍ය බවත්, එවැනි තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ඔහු මෙහිදී පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.