“මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජීවිත කතාව සහ දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සාකච්ඡා කර ඊළඟ පරම්පරාවට ගෙනයාමේ වැඩපිළිවෙළක් සකස්කළ යුතු යැයි ද එය සේනක බිබිලේ දර්ශනය මෙන් ම එම දර්ශනය මත පිහිටා කටයුතු කිරීමට සමාජය දිරි ගන්වන ක්‍රියාවක් වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය .
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 105 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් පසුගිය දා කොළඹ 07 රාජ්‍ය ඔසුසල් ශ්‍රවණාගාරයේ පැවති සංවත්සර උත්සවයට එක්වෙමිනි.
වෙළද නාමය වෙනුවට ඖෂධීය නාමයෙන් ඖෂධයක් ලිවීම මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තිය ලෙස මෑත කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දීමට උත්සහ කළ ද එය මෙම දැවැන්ත ක්‍රියාදාමයේ එකම එක පියවරක් පමණක් බවත්, එතුමන්ගේ සමස්ත දර්ශනය මත පදනම් වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර වෙළද නාමය වෙනුවට ඖෂධීය නාමය ලියන්න අප කොතරම් උත්සහ කළත්,එයින් සැලකිය යුතු ප්‍රතිඵලයක් නොලැබෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය අභියෝගාත්මක අමාත්‍යාංශයක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝග නිවාරණය, රෝහල් සේවා සැපයීම නොව ප්‍රමුඛ අභියෝගය වන්නේ ඖෂධ සැපයීම බව ද පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි අවධානයක්, ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලබන්නේ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් බවත්, රජයක් ලෙස ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධානතම ආයතන හතර වෛද්‍ය සැපයීම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව බව ද පැවසී ය. මෙම ආයතන හතර සමඟ අවබෝධයකින්, ඒකාබද්ධතාවයකින් සහ සැලැස්මකින් යුතුව කටයුතු කර මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව ලබා දීමට රජය වගකීමක් සහිතව කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේ ය.
මහාචාර්ය සේනක බිබිලේ මහතා 1920 පෙබරවාරි 13 දින දකුණු පළාතේ කතලූව නමැති ගම්මානයේ උපත ලද අතර අධ්‍යාපනය ආරම්භ කළේ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ත‍්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙක් ලෙස සේනක බිබිලේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ 1940 වර්ෂයේ දී ය. 1945 වර්ෂයේ දී සේනක බිබිලේ මහතා එම්. බී. බී. එස්. උපාධිය සමත් වූයේ ප‍්‍රථම පන්තියේ සමාර්ථයක් සහ ශුද්ධ වෛද්‍ය විද්‍යා විෂයට පිදෙන “දඩාබෝයි” රන් පදක්කම සහ ශල්‍ය වෛද්‍ය විෂයට පිදෙන “රොක්වුඩ්” රන් පදක්කම යන රන් පදක්කම් දෙකම දිනා ගනිමිනි. 1947 වර්ෂයේ දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු ආචාර්ය සේනක බිබිලේ 1952 වර්ෂයේ දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඞී. උපාධිය ලබා ගත්තේ ය. ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතා ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී වීරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ එම්.එල්. සුබසිංහ, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පුත් හිරන්ජන් බිබිලේ, මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.