මහවැලි පුනරුද සතියේ තෙවන අදියර මහවැලි කලාප 10ම ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදුකිරීමට නියමිත අතර එහි තෙවන අදියර ප්‍රධාන තේමාවන් කිහිපයක් ඔස්සේ කලාපයේ කාර්යයන්ට ප්‍රමුඛ වන පරිදි වැඩසටහන් පෙළගස්වා පෙබරවාරි 10 ඊයේ සිට පෙබරවාරි 16 දක්වා මහවැලි බී කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට අපේක්ෂිතය.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් මැයෙන් වූ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන “මහවැලි පුනරුද සතිය” වැඩසටහන් මාලාවේ පළමු සහ දෙවන අදියරයන් පිළිවෙලින් මහවැලි එච් හා ඊ / වික්ටෝරියා කලාප ආශ්‍රිතව ඉතා සාර්ථක අයුරින් සිදුකෙරිණි.
තෙවන අදියර යටත් පෙබරවාරි 10 සමාරම්භක හා ප්‍රජා සහභාගීත්ව ශ්‍රමදාන දිනය ලෙසද, 11 කෘෂිකර්ම හා පරිසර දිනය ලෙසද, 12 වනදා ආගමික, වාරි කළමනාකරණ හා යටිතල පහසුකම් සංවර්ධන දිනය වශයෙන්ද නම්කර ඇත. 13 වනදා සෞඛ්‍ය ප්‍රවර්ධන, ඉඩම් කළමනාකරණ හා අලෙවි ප්‍රවර්ධන දිනය ලෙසද, 14 ව්‍යවසායකත්ව සංවර්ධන හා තරුණ කටයුතු දිනය ලෙසද, 15 ධීවර හා පශු සම්පත් සංවර්ධන දිනය ලෙසද නම්කර ඇත. පෙබරවාරි 16 වනදා දකුණු ඉවුර නව සංවර්ධන ප්‍රෙද්ශයේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ සංවර්ධන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මහවැලි පුනරුද සතිය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මහවැලි ජනපදිකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් තවදුරටත් වේගවත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණු පෙරදැරිව වඩා ප්‍රමුඛතාවය දියයුතු අංශ හඳුනාගෙන ජනතාවට ඉහල ප්‍රතිලාභ හිමිවන අයුරින් මෙහි වැඩසටහන් පෙළගස්වා ඇත.
මෙහි ඇති වඩා සුවිශේෂීත්වය වන්නේ අදාල සංවර්ධන වැඩසටහන් එක් සතියක් තුළ ක්‍රියාත්මක කර අවසන් කිරීමට හැකි වන පරිදි සැලසුම් කර ඇති බැවින් මහවැලි ජනපදිකයාට කෙටි කාලයක් තුළ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් හිමිකර ගැනීමට අවස්ථාව සැලසීමයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන්ගේ උපදේශකත්වය යටතේ අමාත්‍යංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ජේ. කේ. හේරත් යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ අංශ ප්‍රධානී අධ්‍යක්ෂවරුන් සහ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන් ඇතුලු මහවැලි අධිකාරියේ නිලධාරීන් හා මහවැලි ජනපදිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.