"සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්" යන තේමාව යටතේ සුන්දර වෙරළ නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද(09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් , මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදී ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එච්.එම්.කේ.ජී.බී ගුණරත්න මහතා පැවසීය.
Clean Sri Lanka ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (08)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා මේ බව පැවසීය.
“සුන්දර වෙරළක් ආකර්ෂණීය ගමනාන්තයක්“ යන තේමාව යටතේ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බවත්, එහි ප්‍රධාන වැඩසටහන වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ලංකාවේ ආර්ථිකයට විශාල මෙහෙයක් ඉටුකරන වෙරළ කළාපය, විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුරවෙන් දූෂණය වී ඇති බවත්,ප්ලාස්ටික් සහ දිරාපත් නොවන විවිධ අපද්‍රව්‍ය සාගර කළාපයට එක් වී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. වෙරළ කලාපය පිරිසිදු කිරීමේ අත්‍යාවශ්‍ය බව ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානයකර තිබේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා පැවසුවේ, මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වටා ඇති කිලෝ මීටර් 1740 වූ වෙරළ තීරය පිරිසිදු කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
"ශ්‍රී ලංකාව වටා වෙරළ කළාප තිබෙන දිස්ත්‍රික්ක 14 ක් තිබෙනවා. මෙම දිස්ත්‍රික් 14 තුළම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. එහි සමාරම්භක උළෙල හෙට උදේ 8.00ට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඊට සමගාමීව ගාල්ල මාතර හම්බන්තොට සහ ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්කවල වැඩසටහන් පැවැත්වෙනවා.විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ,ග්‍රාමීය ජනතාව සහ දේශපාලන අධිකාරිය ඇතුලු සියලු දෙනා එක්ව මෙම වැඩසටහන ආරම්භකරනවා. මෙම වැඩසටහනේ දෙවන අදියර පෙබරවාරි 16 නැගෙනහිර පලාතෙන් ආරම්භ වෙනවා. ඉන් පසු පෙබරවාරි 23 වනදා උතුරු සහ පුත්තලම් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් සංවිධානය කර තිබෙනවා“.