මෙරට සියලු පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතුයි - සෞඛ්‍ය ඇමති

මෙරට සියලු පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතුයි -  සෞඛ්‍ය ඇමති
  • SocialShare:

මෙරට සෞඛ්‍ය සේවාව ඇතුළු සියලුම ක්ෂේත්‍රවල පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ දකුණු ආසියාවේ පැරණිතම සහ මෙරට පිහිටි විශාලතම මෙන් ම ප්‍රධාන ම වෛද්‍ය පර්යේෂණායතනය වන බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වත්මන් කටයුතු සොයා බැලීමට එක්වීමෙන් අනතුරුව එම ආයතනයේ සියලු අංශ ප්‍රධානීන්, පර්යේෂකයින් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
වෛද්‍ය පර්යේෂණ යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම අංශයක් බවත්, රෝග මෙන් ම රෝග නිදානය, ප්‍රතිකාර සේවා, ප්‍රතිකාර වලින් පසු රෝගියාගේ ජීවන රටාව පිළිබඳව ද කරුණු සලකා බලන්නේ ද වෛද්‍ය පර්යේෂණවලින් ලබාගන්නා නිගමනයන් තුළින් බවත්, මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෛද්‍ය පර්යේෂණ, විශේෂිත රසායනාගාර පරීක්ෂණ සහ මහජන සෞඛ්‍ය, ප්‍රශස්ත ව පවත්වාගැනිම සඳහා සිය අඛණ්ඩ දායකත්වය දක්වමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට එදා මෙදාතුර සිදුකරන කාර්යභාර්ය මෙරට ජනතාවගේ සුවිශේෂී ඇගයීමට ලක්වන බව ද පැවසීය.
රෝග නිරීක්ෂණ, එන්නත් තත්ත්ව පාලනය සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පුහුණු කිරීම ඇතුළු ව වෛරස් විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව, පරපෝෂිත විද්‍යාව, පෝෂණය, ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක ජීව විද්‍යා වැනි ක්ෂේත්‍රවල පර්යේෂණ සිදු කරමින් වසර 125 ක් වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉටුකර ඇති මෙහෙවර මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නොමද ප්‍රශංසාවට ලක්විය.
නිරීක්ෂණ චාරිකාවේ දී සායනික බැක්ටීරියානුවේද සහ අනුකජීව විද්‍යා රසායනාගාරය, කීට විද්‍යාගාරය, ප්‍රතිජීවක ප්‍රතිවිරෝධී බැක්ටීරියා විශ්ලේෂණ ජාතික නිදර්ශන රසායනාගාරය, ජාතික ලෙප්ටොස්පයිරා නිර්දේශන රසායනාගාරය, ක්ෂ්‍රද්‍රජීව අණුක ජීව විද්‍යා රසායානාගාරය ආදි වශයෙන් වූ රසායනාගාර සියැසින් ම දැකබලා ගත් අමාත්‍යවරයා රසායනාගාර තුළ සිදු කරනු ලබන පර්යේෂණ කටයුතු පිළිබදව සහ එම කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටළු පිළිබඳව තොරතරු සොයා බැලීමටත් කටයුතු කරන ලදි.
මෙහි දී කිසියම් රෝගයක් වැළැක්වීම සඳහා භාවිතා කරන උපකරණ හෝ ඖෂධීය ප්‍රතික්‍රීයක ද්‍රව්‍යවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ආරක්ෂිත බව සම්බන්ධවත් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු ද අමාත්‍යවරයාගේ දැඩි නිරීක්ෂණයට ලක් විය.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වෛද්‍ය පර්යේෂණායතනය තුළ ස්ථාපිතව ඇති මෙරට එකම පටකවේද දෙපාර්තමේන්තුව (Histopathology department) සිදු කළ නිරීක්ෂණයේ දී වකුගඩු රෝග සදහා සිදු කරනු ලබන (Immunofluoresnce) පරික්ෂණ සදහා රුපියල් මිලියන 20 ක පමණ වටිනාකමකින් යුත් Cryostat microtome උපකරණයක් ඇතුළු උපකරණ කිහිපයක අවශ්‍යතාවයක් ඇති බව ද මෙහි දී අනාවරණය වූ අතර, අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඉතා කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.
වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකරන ප්‍රධාන සේවාවක් වන රටපුරා පිහිටා ඇති රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම වෛද්‍ය පරීක්ෂණාගාරවල ගුණාත්මකභාවය පිළිබඳව පරීක්ෂාව, රට තුළට අලුතින් ඇතුළු වන වෛරස, බැක්ටීරියා රෝග සම්බන්ධව හඳුනා ගැනීමේ පර්යේෂණ කිරීම මෙන් ම නවීනතම පරීක්ෂණ සිදුකිරීම, අධ්‍යාපනික සහ පුහුණුව සඳහා නායකත්වය දීම ආදිය තවත් පුළුල් ව සහ විධිමත් ව ඉටු කිරීමට අදාළ සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍යවරයා මෙහි දී දත්ත එක්රැස් කරනු ලැබී ය.
ප්‍රධාන පරීක්ෂණවලින් ලැබෙන ප්‍රතිඵල අනුව සිදුකරන විශේෂ පරීක්ෂණ ද ඇති බවත්, පිළිකා, ජලභීතිකාව, ඒඩ්ස්, ක්ෂය රෝගය, සරම්ප, කොවිඩ්, ඩෙංගු,‌ වෛරස් රෝග ඇතුළු තවත් රෝග රැසක් සම්බන්ධ ව එලෙස පරීක්ෂණ සිදු කරන බවත්, රෝගියා තුළ අදාළ රෝගය පැතිර ඇති මට්ටම හඳුනාගැනීමට හා රෝගයෙහි ප්‍රභේද හඳුනාගැනීම සඳහා මෙලෙස පරීක්ෂණ සිදුකරනු ලබන බවත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
රටටම අවශ්‍ය වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ ශිල්පීන් (MLT) නිර්මාණය කරන්නේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් වන අතර, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ප්‍රධාන කාර්ය සිදුවන්නේ ද මෙම ආයතනයෙනි. මෙරට වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයින්ට කෙටිකාලීන පුහුණුවීම් ලබාදීමත් මෙමගින් සිදු කරන බව මෙහිදී අනාවරණය විය.
මෙම අවස්ථාව‌ට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, වෛද්‍ය පර්යේෂණායතනයේ වත්මන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල, වෛද්‍ය පර්යේෂණායතනයේ පර්යේෂකයින්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.