ගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බැලීම වෙනුවෙන් සිදු කළ නිරික්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් පදනම් ආයතන කාර්යමණ්ඩලය අමතමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ වර්තමානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පදනම් ආයතනය මේවන විට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වැඩිහිටි අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වේ. මෙම ආයතනයේ එක් එක් අංශ නිරික්ෂණය කළ අමාත්‍යවරයා පදනම් ආයතනයේ සභාපති, අධ්යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ජාවක ද නිරත වෙමින් ආයතනයේ ගමන් මග පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීමක් සිදු කළේය.
පර්යේෂණ, බුද්ධිමය සාකච්ඡා නිරතුරුව පදනම තුළ සිදුවිය යුතු බවත්, පදනමේ සේවය කරන සියළු පිරිස් රාජ්‍යයේ ගමන් මග තීන්දු කරන ප්‍රධාන පෙළේ වැදගත්ම පුරවැසියන් සහ නිලධාරින් බවට පත්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රජයේ ඉදිරි දැක්ම හඳුනාගෙන කටයුතු කළයුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය නිරන්තරයෙන් කැපවන බවද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව්‍ය ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීමේ පදනම සකස් කිරීමේ වගකීම නව රජයේ අමාත්‍යවරුන්ට පැවරී ඇති බවයි. මෙම වකවානුව තුළ එම වගකීම ඉතා නිවැරදිව හා වගකීමකින් යුතුව ඉටු කිරීමට නව අමාත්‍ය මණ්ඩලය සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් පූර්ණ කාලීනව කැපවී ක්‍රියාකරමින් සිටින බවද සඳහන් කළේය. එසේ පූර්ණ කාලීන කැපවීම තුළ මෙවන විට නව අමාත්‍ය මණ්ඩලයට විවිධ චෝදනා එල්ල වන බව සඳහන් කළ අමාත්‍යවරයා එම චෝදනා අතර ඇමතිවරු හමුවන්න බැහැ, දුරකථනයට එන්නෙ නැහැ, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ, සම්මුඛ සාකච්ඡා දෙන්නේ නැහැ යනුවෙන් දහසකුත් එකක් චෝදනා නැගෙමින් පවතින බවද සිහිපත් කළේය.
චෝදනා කොතෙක් එල්ල වුවද සමස්ත අමාත්‍ය මණ්ඩලයම වෙහෙස නොබලා සම්පූර්ණ කාලයම කැපකරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට යහපත් පදනමක් ගොඩනැගීමේ කර්තව්‍ය නොපිරිහෙළා ඉටුකිරීමට කැපවී කටයුතු කරමින් සිටින බව තමා වගකීමකින් ප්‍රකාශ කරන බව ඒ මහතා සඳහන් කළේය.
එවන් ආකාරයකින් කැපවීම් සිදු නොකර, නිසි අධ්‍යනයකින් තොරව දත්ත, තොරතුරු මත පදනම් නොවී ජනාධිපති, අගමැති, ඇමැති වීම හෝ බලයෙන් හිස උදුම්වා ගෙන හිතුමතේ ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරිම නිසා පසුගිය කාලයේ ඇතිවූ ගැටලු මෙරට ජනතාව ඉතා හොදින් අත්වින්ද බවද එවන් තත්ත්වයක් අනාගතයේ යළි ඇති නොවීමට වර්ථමාන රජය කටයුතු කරන බවද අමාතවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පදනම් ආයතනය කොතරම් සැලසුම් සකස්කර දෙස් විදෙස් පුහුණුව, අධ්‍යාපනය ලබාදුන්නත්, එම කටයුතු සඳහා විශාල ලෙස මුදල් වියදම් කර තිබුනත් මෙරට රාජ්‍ය නිලධාරීන් පවා පුරුදුව සිටින්නේ සාම්ප්‍රදායික මතවල සිට සහ දේශපාලනඥයන්ගේ අතකොලු වී ක්‍රියාකිරිමට විනා ස්වාධිනව නිවැරදී දේ ඉටුකිරිමට හැකි ශක්තිමත් චරිත ලෙස නොවීම කණගාටු තත්ත්වයක් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එලෙස රටකට ඉදිරියට යා නොහැකි බව පැවසූ අමාත්‍යවරයා එමෙන්ම වසර පහෙන් පහට පත්වන ආණ්ඩු සහ ඇමැතිවරුන් තමන්ට හිතූ හිතූ අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදී සැලසුමකට අනුගත වෙමින් ඉදිරියට යාමේ ගමන් මග සකස් කිරීමේ වගකීම මෙන්ම ඒ සඳහා දැක්ම සකස් කිරීමට තිබෙන සුදුසුම ආයතන ශ්‍රී ලංකා පදනම් ආයතනය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සභාපති එස්.එමි සමන් සමරකෝන්, අධ්යක්ෂ ජනරාල් රිද්මා ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ අධ්යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.