1995 – “වන සුරැකුම” කෙටි දුරකතන අංකයට මාස 4ක් තුළ මහජන පැමිණිලි 240 ක්

1995 – “වන සුරැකුම” කෙටි දුරකතන අංකයට මාස 4ක් තුළ මහජන පැමිණිලි 240 ක්
  • SocialShare:

පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන “වනසුරැකුම, මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානයේ” 1995 කෙටි දුරකතන අංකයට මේ වනවිට පැමිණිලි 240ක් ලැබී ඇති බව අනාවරණය විය.

වනජීවී හා වනාන්තර සම්බන්ධ අපරාධ සහ ඒවාට එරෙහිව ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (06) පරිසර අමාත්‍යංශයේදී පැවැත්වූ අතර එහිදී මෙම කරුණු ඉදිරිපත් විය.

එම පැමිණිලිවලින් බොහොමයකට කඩිනම් විමර්ශන සිදු වෙමින් පවතින අතර දැනුවත් කරනු ලැබු ඇතැම් පැමිණිලි සදහා නීතිමය ක්‍රියාමාර්ග අවසන් වී ඇත.

මෙම පැමිණිලිවලට අදාළව,වන හානි ,වනජීවීන්ට සිදුකරන නීතිවිරෝධී ක්‍රියා ,කඩොලාන හා තෙත්බිම් ගොඩකිරීම් ,වන රක්ෂිත ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම , වනාන්තර තුළ සිදුවන විවිධ අපරාධ වැනි සිද්ධීන් විශාල වශයෙන් වාර්තා වී ඇත.විශේෂයෙන් අනුරාධපුර, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත.

1995 කෙටි දුරකතන අංකය ඔස්සේ මහජනතාවට වනජීවී හා වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, මෙම සේවාව ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසියගේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

මෙම විමර්ශන ඒකකයේ කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රමවේදයක් (SOP) හඳුන්වාදීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, වනජීවී අංශයේ අතිරේක ලේකම් උදය කුමාර මහතා, වන සංරක්ෂක ජනරාල්තුමා ඇතුළු වනසංරක්ෂණ සහ වනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුවල නිළධාරීන් මෙන් ම මෙම විමර්ශන ක්‍රියාවලියේ යෙදී සිටින ත්‍රිවිද හමුදා නිළධාරීන් ඇතුළු පරිසර අමාත්‍යංශයේ නිළධාරීන් සහභාගී වූහ.