දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා (09) දින සිදු කරන ලදි.
මෙහිදි උහන ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි පවුල් 550ක් සඳහා පොල් පැළ 1,100ක් බෙදා දීම හා පොල් වගා කිරිමෙ මණ්ඩලය විසින් සිදු කරනු ලබන සහනාධාර වැඩසටහන් අතුරින් තෝරාගත් පිරිස් සඳහා සහනාධාර චෙක් පත් බෙදා දීමද සිදු කරන ලදි. මීට අමතරව උහන පිහිටි පොල් වගා කිරිමේ මණ්ඩලයට අයත් පොල් පැළ තවාන නිරික්ෂණය හා එහිදි පොල් පැළ කිහිපයක් රෝපණය කිරිමද වැවිලි සහ ප්‍රජ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
කප්තුරු සවිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිමේ ව්‍යාපෘතියේ දි, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ හැර ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2.5ක් සඳහා පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදා දීමට සැලසුම් කර ඇති අතර මෙමගින් අක්කර 7,812ක පොල් වගාවක් ඇති කිරිමට අපේක්ෂිතය.
එහිදි ප්‍රජා ශක්ති කමිටු මගින් තෝරා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් අනුමත කරගත් ප්‍රතිලාභින්ගේ දෛනික පරිභොජනය සඳහා පොල් තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට හැකි වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතය. එමෙන්ම පොල් පැළ බෙදාදීමේ සිට පොල් අස්වැන්න නෙළන අවස්ථාව තෙක්ම පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශිය නිළධාරින් සමග ප්‍රජා ශක්ති කමිටුවේ නිලධාරින් විසින් පුර්ණ අධීක්ෂණයක් සිදු කිරිමට නියමිතය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රියන්ත විජේරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය සහභාගි වූ අතර, මෙම වැඩසටහන සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජයකීර්ති මහතා ඇතුලු අමාත්‍යාංශ නිළධාරින් ද, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශන්ත රණතුංග මහතා ඇතුලු පිරිසක් ද සම්බන්ධ විය.


