රුහුණු විශ්ව විද්‍යාලයේ "කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය" සැප්තැම්බර් 02, කොළඹදී

රුහුණු විශ්ව විද්‍යාලයේ "කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය" සැප්තැම්බර් 02, කොළඹදී
  • SocialShare:

රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය" (ISAE)  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ  ප්‍රධානත්වයෙන් ගාලුමවුදොර හෝටලයේදී සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිතය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව බව රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පිඨාධිපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගුත්තිල ජයසිංහ මහතා පවසයි.

කෘෂි, පාරිසරික විද්‍යා සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනීය උසස්භාවය, දැනුම් හුවමාරුව සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "කෘෂි හා පාරිසරික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය" (ISAE)  2011 වර්ෂයේදී  පළමු වරට පැවැත්වූ අතර එතැන්පටන් ජාතික සම්මන්ත්‍රණ 2ක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ 14ක් සාර්ථකව පවත්වා ඇත.

මෙවර සම්මන්ත්‍රණය තුළ කෘෂි තිරසාරභාවය සහ නවෝත්පාදන පිළිබඳ අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව තම විශේෂඥ දැනුම හුවමාරු කිරීම සදහා කීර්තිමත් සම්මන්ත්‍රණ කථිකයින් 7 දෙනෙකුද සහභාගී වන අතර, එමඟින් සම්මන්ත්‍රණය පුරා විද්වත් හා ඵලදායි සාකච්ඡාවක් ගොඩ නැංවීමට බලාපොරොත්තු වේ.

“දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසාරභාවය සඳහා කෘෂිකාර්මික තාක්ෂණයන්හි නවෝත්පාදනයන් මෙහෙයවීම” යන මූලික තේමාව යටතේ,  තිරසාර කෘෂිකර්මාන්තය සඳහා දේශගුණ සංවේදී සුහුරු ඉංජිනේරු තාක්ෂණය, දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය සඳහා බෝග සහ පාංශු කළමනාකරණය, දේශගුණික විපර්යාස අනුවර්තනය සඳහා ආහාර නිෂ්පාදනය සහ ශාක අභිජනනය පිළිබඳ නවෝත්පාදන, තිරසාර පශු සම්පත් නිෂ්පාදනය සඳහා සත්ව පාලනය,  තිරසාර ආහාර පද්ධති සහ සැපයුම් දාම: ආර්ථික හා තාක්ෂණික ඉදිරි පියවර , යන ප්‍රධාන අනු තේමාවන් පහක් ඔස්සේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

කෘෂි පීඨයේ උපාධිධාරී සිසුන් සඳහා විශේෂ අවස්ථා ලෙස,  තරුණ උපාධි සංසදය (Young Graduate Forum – 2025), සහ (7) 3 MIT – මිනිත්තු 3 ක කර්මාන්ත  පුහුණු තරගාවලිය පවත්වනු ඇත. තෝරා ගන්නා ලද  සියලුම පර්යේෂණ පත්‍ර, ජාත්‍යන්තර සම්මත අනුක්‍රමික අංකය (ISSN) සහිත විශේෂ සම්මන්ත්‍රණ ග්‍රන්ථයක ඇතුළත් වන අතර, සම්මන්ත්‍රණ දිනයේදී සාරාංශගත ග්‍රන්ථය ද (Abstract e-book) ලබාගත හැකිය. මිට අමතරව ISAE 2025 සම්මන්ත්‍රණයට අගයක් එක් කිරීම සඳහා, පූර්ව සම්මන්ත්‍ර මාලා 10ක් ද සාර්ථකව පවත්වා ඇත.

මෙම අවස්ථාව සඳහා 200ක පමණ සහභාගීත්වයක් බලාපොරොත්තු වන අතර, ඔවුන් අතරට පර්යේෂණ පත්‍ර ඉදිරිපත් කරන්නන් 100ක්,කර්මාන්ත අංශ නියෝජිතයන් 50ක් සහ ජාත්‍යන්තර ආරාධිතයන් 20ක් පමණ ඇතුළත් වේ.

කෘෂිකාර්මික හා පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා පරිවර්තනීය පර්යේෂණ, නවෝත්පාදන සහ ජාත්‍යන්තර සහයෝගීතාව උත්ප්‍රේරණය කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වේ. ගෝලීය දැනුම හුවමාරුව පෝෂණය කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් ඇති මෙම සම්මන්ත්‍රණය, අධ්‍යයන, කර්මාන්ත සහ ප්‍රතිපත්ති මත පදනම් වූ සාකච්ඡා සඳහා ප්‍රමුඛ වේදිකාවක් ලෙස අඛණ්ඩව විකාශනය වෙමින් පවතී. කීර්තිමත් ජාත්‍යන්තර කථිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින්ගේ සහභාගීත්වය වටිනා අවබෝධයන් සහ ජාලකරණ අවස්ථා සහතික කරනු ඇති අතර, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවන් පෝෂණය කරනු ඇත. දැඩි අධ්‍යයන කතිකාව, තාක්ෂණික දියුණුව සහ  ඇති කිරීමට ISAE 2025 අපේක්ෂා කරයි.