ජූලි 15, 2020
tami eng youtube  twitter facebook
    logo

    ගුණාත්මක සෞඛ්‍ය සේවා සපයන දකුණු ආසියාවේ අංක එකේ රට ලංකාවයි

    නොවැම්බර් 17, 2014

    දකුණු ආසියාතික රටවල් 11 අතර- ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සම්බන්ධයෙන් අංක එකේ හොඳ ම රට ලංකාව යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉකුත් සෙනසුරාදා (15) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.


    සෙනසුරාදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 111 වැය ශීර්ෂය විවාදයට ගැනිණි‍.


    එම විවාදයේ පිළිතුරු කතාව කතාව කරමින් අමාත්‍යවරයා පළකළ අදහස් මෙසේ ය;

    විශේෂයෙන්ම 2015 වසර සඳහා වූ අය-වැය පිළිබඳ විවාදයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡාවට ලක් වන අවස්ථාවේ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා යෝජනා සහ චෝදනා රාශියක් ඉදිරිපත් කළා. ඒ වාගේම එතුමාගේ පියා මේ රට පාලනය කරපු නායකයෙක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා විධියට හිටපු නිසා මේ රජයට සහ අපට විරුද්ධ ව එල්ල කළ චෝදනා සහ පැමිණිලි, ඒ වාගේම යෝජනා සියල්ල ම එතුමාගේ ආණ්ඩුව තුළත් කරන්න පුළුවන්කම තිබුණා කියන එක එතුමාට කියන්න ඕනෑ.


    ඒ වාගේම හිටපු ජනාධිපතිවරයෙක් විධියට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට මම ඉතාම ගරු කරනවා. මෙතෙක් අපි කරලා නැහැයි කියන ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත එතුමා රාජ්‍ය නායකයා වශයෙන් සිටි කාලයේත් ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් පියාගේ කාලයේත්, පුතාගේ කාලයේත් මේ කිසි දෙයක් කෙරුණේ නැති බව අපි දන්නවා.


    ප්‍රධාන වශයෙන්ම එතුමා ඉදිරිපත් කළ කරුණු අතර සමහර සංඛ්‍යා ලේඛන මම පිළිගන්නා සත්‍ය දේවල්. මම සෞඛ්‍ය ඇමතිවරයා විධියට බොහොම පැහැදිලිව කියනවා, මට ලැබී තිබෙන වාර්තා අනුව විශේෂයෙන්ම ලංකාවේ මන්ද පෝෂණ ප්‍රතිශතය සියයට 17යි. විවිධ සංඛ්‍යා ලේඛන, තොරතුරු සහ දත්ත ගන්න පුළුවන් නොයෙකුත් ආයතන තිබෙනවා. ඒ ආයතන සම්බන්ධයෙන් මගේ වගකීමක් නැහැ.


    මම වග කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සපයන වාර්තාවලට පමණයි. ඒ නිසා මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව සැලකිල්ල යොමු කළොත්, පසු ගිය වර්ෂ කිහිපය තුළ මේ රටේ මන්ද පෝෂණය තුරන් කිරීම සහ අවම කිරීම සම්බන්ධයෙන් රජයක් විධියට අපි වැඩ පිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වාගේම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා සඳහන් කළා, මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට ලංකාවේ ජන අනුපාතය අනුව වෛද්‍යවරු, හෙද සේවය, පවුල් සෞඛ්‍ය සේවාවන් පිළිබඳව තිබෙන්නේ දුර්වල තත්ත්වයක්, අවම තත්ත්වයක් කියලා.


    මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ, 2010 වර්ෂයේ මම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්න කොට මේ රටේ හෙද සේවයේ සිටියේ 15,000යි. අද හෙද සේවයේ 35,000ක් ඉන්නවා. ඒ වාගේම ලංකාවේ ජන අනුපාතය අනුව 1,300කට එක් වෛද්‍යවරයෙක් ඉන්නවා.


    ජනගහනයෙන් 650කට හෙද නිලධාරිනියක් බැගින් ඉන්නවා. මේ තත්ත්වය සැලකිල්ලට ගත් විට අප ඉතාම සාර්ථක තැනක සිටිනවා. විපක්ෂය විවේචන, චෝදනා කුමන ආකාරයෙන් ඉදිරිපත් කළත් ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අපේ මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව දෙන්නේ ඉහළ ම අගයක් සහ වටිනාකමක්. අපේ කලාපය තුළ විශේෂයෙන් රටවල් 11ක් අතර - ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික රටවල් 11 අතර- ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සම්බන්ධයෙන් අංක එකේ හොඳ ම රට ලංකාවයි කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන පැහැදිලි සහතිකයක්. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මම බොහොම පැහැදිලිව කියන්න ඕනෑ, රජයක් විධියට අප මේ කටයුතුවලදී ඉතාම පැහැදිලි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කර තිබෙනවා කියා.


    ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කරුණු සඳහන් කළා. ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හදලා අවුරුදු 40ක් වෙනවා. මා හිතන විධියට කවුරුත් දන්නවා මා මේ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත 2011 දෙසැම්බර් වන විට හදපු බව. නමුත් එය අතුරුදහන් වුණා. ලංකාවේ සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයන් තමයි ඒ කටයුත්ත කළේ. නමුත් අපි එය නැවත පටන් ගත්තා. ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත හදලා මීට මාස හයකට පෙර මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ විට අමාත්‍ය මණ්ඩලය විසින් එය ව්‍යවස්ථා කමිටුවට ඉදිරිපත් කරනවා. ඒ අනුව මෙය දැන් ව්‍යවස්ථා කමිටුවේ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙනවා. මේ දිනවල ව්‍යවස්ථා කමිටුවේ නව පනත් කෙටුම්පත් 100කට වඩා තිබෙනවා අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය හරහා එක් එක් අමාත්‍යාංශවලින් යවපු. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහ ජනතාවගෙන්, මේ ක්ෂේත්‍රයේ විද්වතුන් සහ ප්‍රවීණයන්ගෙන් ආ විවිධ අදහස් හා යෝජනා, විශේෂඥ කමිටුවක් පත් කරලා නැවත සැලකිල්ලට ගෙන අප කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතට කළ යුතු තවත් සංශෝධන -සංශෝධන විධියට- නැවතත් යවා තිබෙනවා.


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය වෙනුවෙන් මම බොහොම පැහැදිලිව කියන්න ඕනෑ ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අවුරුදු 40කට පස්සේ මීට මාස හයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ සෞඛ්‍ය ඇමතිවරයා විධියට මමයි කියා. අපි ඒ ජයග්‍රහණය ලබා තිබෙනවා. නමුත් බාධාවන්ද තිබෙනවා. අභියෝග තිබෙනවා. ප්‍රශ්න තිබෙනවා. ගැටලු තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඒ බාධා ජය ගෙන 40 අවුරුද්දක් තිස්සේ බැරි වූ දේ යම් පසු බෑමකට ලක් වෙලා හෝ අවුරුදු 4ක් තුළ -මගේ කාලයේදී- මම ඉෂ්ට කළා. මම විශ්වාස කරනවා ව්‍යවස්ථා කමිටුවෙන් අනුමත වුණාට පස්සේ එය ඉදිරි මාස කීපය තුළ පාර්ලිමේන්තුවට ගෙන එන්න අපට පුළුවන් වේවි කියලා.


    සජිත් ‍ප්‍රේමදාස මන්ත්‍රීතුමා මෙහිදී මතු කළ කරුණු අතර අනෙක් කාරණය තමයි, සිය දිවි නසාගැනීම් පිළිබඳ කාරණය. සිය දිවි නසාගැනීම් පිළිබඳව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන වාර්තාව මම මේ ගරු සභාවේදී වගකීමකින් යුතුව ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද, එක් එක් ජාත්‍යන්තර ආයතන, රාජ්‍ය ආයතන නොයෙකුත් සංඛ්‍යා ලේඛන, දත්ත, තොරතුරු සොයාගන්නා විවිධ ක්‍රමවේද තිබෙනවා. මා දන්නා තොරතුරු අනුව ඉතා පැහැදිලිවම ඒ වාර්තාව වැරදියි. ලංකාව සිය දිවි නසාගැනීම් සම්බන්ධයෙන් 4වන ස්ථානයේ නොවෙයි තිබෙන්නේ. සෞඛ්‍ය ඇමතිවරයා විධියට වගකීමක් ඇතිවයි මා කියන්නේ, සිය දිවි නසාගැනීම් පිළිබඳ ඒ වාර්තාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන එක. ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි දන්වා තිබෙනවා ඒ වාර්තාව වැරැදියි, ඒක නිසා එය නිවැරැදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ යෝජනා ලබාගන්න කියලා.


    ඖෂධ පිළිබඳව කථා කරන විට, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන පිළිබඳව කතා කළා. 2011 දී නිෂ්පාදනය මිලියන 1,922යි.  2012 දී නිෂ්පාදනය මිලියන 2,002යි. 2013 දී මිලියන 2,020යි.  ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය බොහොම වේගයෙන් ඉහළට නැඟලා තිබෙනවා. මා ඉතාමත් ම සතුටින් ඒ ගැන කියන්නට ඕනෑ.  ජපන් රජයේ ජාත්‍යන්තර බැංකුව,  JICA ආයතනය, යන මේවායින් උදවු අරගෙන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවන් වැඩි කිරීම සඳහා මේ වනවිට පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා ඖෂධ නිෂ්පාදනය පිළිබඳව අපි ඉතා ම හොඳ තැනක සිටිනවා.  ඒ වාගේම මෙම ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ප්‍රධාන රෝහල් හතරක් මේ වනවිට ඉදිවෙමින් තිබෙනවා.  වරකාපොළ, තෙල්දෙණිය, ගල්ගමුව, සහ නැඟෙනහිර පළාතේ රෝහලක් ඉදිවෙමින් තිබෙනවා. අද ඒ ස්ථානවලට ගියොත්,  දැනට අවුරුදු එකහමාරකට පෙර පටන් ගත් ඉතාම ඉහළ තත්ත්වයේ නව රෝහල් ඉදිකිරීම් කටයුතු මේ වනවිට වේගවත්ව සිදු වන  ආකාරය දැක බලා ගන්නට පුළුවන්.

    සෞඛ්‍ය ඇමතිවරයා විධියට මේ විවාදය තුළ  මා ඉතාමත් ම සතුටට පත් වන කරුණු කිහිපයක් තිබෙනවා.  මේ 2014  වසරේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට  දේශීය අරමුදල් වශයෙන් ලැබිලා තිබුණේ රුපියල් බිලියන 162යි. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කිව්වා,  සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන ලද මුදල් ප්‍රමාණය මදියි කියලා. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා 2003 වසරේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරපු කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් 2003 අය වැයෙන් වෙන් කළේ  රුපියල් බිලියන 36යි. මේ 2014 වසර සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 162ක් වෙන් කර තිබුණා. 2015 වසර වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙන් කර තිබෙනවා, රුපියල් බිලියන 180ක්. මේ අවුරුද්දට වඩා රුපියල් බිලියන 18ක් වැඩිපුර ලබන අවුරුද්දට මුදල් වෙන් කර තිබෙනවා.   ඒ නිසා තමුන්නාන්සේලාට ඕනෑ දෙයක් කියන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමනි.  දැන් ඒකටත් උද්ධමනය කියලා කියයි.  මා බොහොම පැහැදිලි ව සඳහන් කරන්නට ඕනෑ, රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අතිගරු ජනාධිපතිතුමාගේ  නායකත්වයෙන් මේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා කටයුතු කර තිබෙන බව. ඒ නිසා  අද  අපේ නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් වර්ධනයකට, ප්‍රවර්ධනයකට ලක් වෙලා තිබෙනවා. භෞතික සම්පත් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය ඇති වෙලා තිබෙනවා. නිදහසින් පසු ලංකාවේ  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම වර්ධනයක් සිදු වුණු  කාල සීමාව වන්නේ, ගෙවී ගිය දශකයයි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. මේක මගේ කටින් කියනවාට වඩා, අතිගරු ජනාධිපතිතුමා මීට මාස හයකට කලින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දස දහසකට හෙද සේවය සහ පරිපූරක සේවය, අතුරු වෛද්‍ය සේවා පත්වීම් ලබා දීමට පැමිණි අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා,  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්වර්ණම යුගය මේ වනවිට ක්‍රියාත්මක වනවා කියලා.


    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අභියෝග සහ ගැටලුවලදී  විවිධ තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට ගෙන 2013 වර්ෂය අපි නම් කළේ බෝ නොවන රෝග මර්දනය කිරීමේ වර්ෂය විධියටයි.  මේ 2014 වසර අප නම් කර තිබෙන්නේ මතින් තොර සමාජයක් ගොඩනැඟීමේ වර්ෂය විධියටයි. අපේ රටේ පමණක් නොවෙයි මුළු මහත් මානව සමාජයටම ප්‍රබල අභියෝගයක් සහ ගැටලුවක් වී ඇති නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ අභියෝගයේ දී බෝ නොවන රෝග, ඒ වාගේම ඒ තුළ ඇති වන අනෙකුත් තත්ත්වයන් අද ලෝකයේ සංවර්ධනය වන රටවලට බලවත් අභියෝගයක් වෙලා තිබෙනවා. ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන පොහොසත්ම රට වන ඇමෙරිකාවේ තමයි ජන අනුපාතය අනුව ගත්විට ලෝකයේ  වැඩිම පිළිකා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් ආණ්ඩුවක් විධියට අවශ්‍ය ප්‍රතිපත්ති, තීන්දු තීරණ, සැලසුම්, ඒ සියල්ල නිසියාකාරව ඉටු කර තිබෙනවා;  ඉටුකරමින් යනවා; ඉදිරියටත් ඉටු කරනවා.


    දුම් පානය සම්බන්ධයෙන් සිගරට් පැකට්ටුවේ සෞඛ්‍යමය අවවාද ඇතුළත් කිරීම පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා විධියට මම ඉතාමත්ම සතුටු වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ලෝකයේ සියලු රටවල් කළ යුතු කාර්යයක් රජය විධියට ප්‍රතිපත්තියක් වශයෙන් අපි එය පිළිගෙන එම කාර්යය සිදු කළා. දුම් බීම සහ මත් ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීමේ කාර්යය සඳහා 2012දී මම ඒ ගැසට් නිවේදනය නිකුත් කරලා අවුරුදු දෙක හමාරක් තිස්සේ වරින් වර අලුත්කඩේ උසාවියට ගිහිල්ලා බංකුවක ඉඳගෙන සිටියා. අවුරුදු දෙක හමාරකට පස්සේ අපට තීන්දුව ලැබුණා. සිගරට් පැකට්ටුවේ ඒ සෞඛ්‍යමය අවවාදය ඇතුළත් ඡායාරූපය පළ විය යුතුය කියලා මේ ගරු සභාවේ 225ම එකඟතාව පළ කළා. ඒ පිළිබඳව මේ උත්තරීතර සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු දෙනාට සෞඛ්‍ය ඇමතිවරයා විධියට මගේ ගෞරවය හා ස්තුතිය මම පිරිනමනවා. ව්‍යවස්ථාදායකයෙන් එය සියයට 80ක් කියා සම්මත වුණත්, අධිකරණය ඒ ප්‍රමාණය සියයට 60ක් දක්වා අඩු කර තීන්දුවක් දුන්නා. මේ රටේ ඓතිහාසික කාර්යයක් විධියට ඒ සියයට 60 ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීම පිළිබඳ ව සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් මම ඉතා පැහැදිලිව සතුටු වනවා. ඒ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට කලින් කර ගත නොහැකි වූ කාර්යයක්.


    ඒ වාගේම සෞඛ්‍ය අමාත්‍යාංශය විධියට ගෙන ගිය, ගෙන යන වැඩපිළිවෙළවල් තුළ රේඛීය අමාත්‍යාංශය වෙන ම කටයුතු කරන්නේ නැති ව එකම ප්‍රතිපත්තියක සිට නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව අපි ඉතා පැහැදිලිව කියන්න ඕනෑ. මම 2010 වර්ෂයේ සිට පළමු වරට පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවක් පටන් ගත්තා. අපි මාස හයකට සැරයක් රැස් වනවා. ලංකාවේ රෝහල් 1,000කට ආසන්න සංඛ්‍යාවක වාගේම, ඉන් බාහිරව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වර්ධනය කිරීම සඳහා රෝග වැළැක්වීම -රෝග නිවාරණය- සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය සහ පළාත් සභා නවයම ඉතාමත්ම දැඩි සහෝදරත්වයකින් කටයුතු කරනවා. ඒ තුළින් අපේ සේවාවන් කාර්යක්ෂම කිරීමට හා ශක්තිමත් කිරීමට අපට පුළුවන්කම ලැබී තිබෙනවා.


    තවත් පැත්තකින් ගත් විට පසු ගිය දිනවල අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලදී වකුගඩු රෝගීන් සම්බන්ධයෙන්, පිළිකා රෝගීන් සම්බන්ධයෙන්, ආඝාත රෝගීන් සම්බන්ධයෙන්, හෘදය රෝගීන් සම්බන්ධයෙන් වැය ශීර්ෂ තුළ වෙනම ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. කොළඹ ප්‍රධාන රෝහල්වල කරන සේවාවන් දීප ව්‍යාප්තව කිරීමට ප්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ රෝහල් නම් කරලා ඒවාට ප්‍රතිපාදන වෙන් කරලා එම රෝගවලට අදාළ ප්‍රතිකාර කිරීමේ අංශ ශක්තිමත් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා.


    ඒ වාගේම මම තව කරුණක් සඳහන් කරන්න ඕනෑ. 2015 වර්ෂයේ අය වැය යෝජනාවලදී අපට ලැබුණු රුපියල් බිලියන 180ක මුදල වැය කිරීමේදී ප්‍රමුඛතාව දෙන්නේ රෝග වැළැක්වීම -රෝග නිවාරණය- සඳහායි. විශේෂයෙන්ම කොළඹ, මහනුවර, ගාල්ල, කුරුණෑගල, රත්නපුරය වැනි නාගරික ප්‍රදේශවල රෝහල්වල තිබෙන තදබදය අඩු කිරීම සඳහායි. මේ තදබදය වළක්වා ගැනීමට නම්, රෝගීන් අඩු විය යුතු බව අපි කල්පනා කළ යුතුයි. ඒ වාගේ ම එය අපේ අවධානයට යොමු කළ යුතුයි. රෝගීන් අඩු වන්න නම්, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් විය යුතුයි. රෝග වැළැක්වීම -රෝග නිවාරණය- සම්බන්ධයෙන් නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන රාජ්‍ය ප්‍රතිපත්තිය 2015 වර්ෂයේදී අලුත් මුහුණුවරකින්, අලුත් පිබිදීමකින් යුතුව අලුත් පිටුවක් පෙරළන බව විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමැතියි. එහි අරමුණ මේ රටේ ජනතාව නීරෝගීසම්පන්න ජනතාවක් වශයෙන් බිහි කිරීමයි. ඒ නිසා බොහෝ රජයන්ට අමතක වෙලා තිබුණු ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මේ තුළින් ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මඟින් රෝග වැළැක්වීම -රෝග නිවාරණය- සම්බන්ධයෙන් පාසල් දරුවාගේ සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ යටතේ එක් එක් අංශ සඳහා සිටින විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සියලු දෙනා දැනුවත් කිරීම සඳහා පළාත් සභාව හරහා පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වයෙන් අපි පුළුල් ජාතික වැඩ පිළිවෙළක් 2015දී ක්‍රියාත්මක කරනවා.


    2014 ඉතාම වැදගත් වසරක් වශයෙන් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සටහන් වෙනවා. එයට හේතුව මෙයයි, මේ වසරේ තමයි, ශ්‍රී ලංකා රජය ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් පළමුවැනි වතාවට ලෝකයේ තවත් රජයක් සමඟ ගිවිසුමක් අත්සන් කළේ. අප දැනට ගෙන්වන ඖෂධවලින් සියයට 80ක්ම ගෙන්වන්නේ ඉන්දියාවෙන්. මෙහිදී ඇති වන විවිධ තත්ත්වයන් තමුන්නාන්සේලා කවුරුත් දන්නවා. බොහෝ අය මේ ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව කථා කළා; බාල ඖෂධ පිළිබඳව කථා කළා. ප්‍රමිතියෙන් තොර මේ බාල ඖෂධ සමාගම් විසින් අපට සැපයුවාම, ඒ සමාගම්වලට අප දැඩි දඬුවම් දීලා තිබෙනවා. එහිදී අප කළ එක් දෙයක් තමයි, මුළු ඖෂධ තොගයේම මුදල අය කර ගැනීම; ඊළඟට සියයට 25ක දඩ මුදලක් ගැනීම. ඒ වාගේම ඒ සමාගම් අප අසාදු ලේඛනගත කරනවා; ඒ සමාගම් තහනම් කරනවා. එවැනි කටයුතු අප කර තිබෙනවා. මේ වාණිජ්‍ය ලෝකයේ තාක්ෂණයත් සමඟ දූෂණයට, වංචාවට සහ අක්‍රමිකතාවලට ලක් වුණු ලෝකයේ ඖෂධ නිෂ්පාදනය සහ අවි ආයුධ පිළිබඳ තත්ත්වය අප කවුරුත් දන්නවා. එවැනි තත්ත්වයන් යටතේ බහුජාතික සමාගම් හරහා අප මේවා මිලදී ගැනීමේදී, එවැනි තත්ත්වයන් වැළැක්වීමට නීතිය ක්‍රියාත්මක කිරීමට රජයක් විධියට අප කිසිම වෙලාවක පසුබට වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් ගත යුතු සෑම පියවරක්ම අප ගන්නා බව ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ.
     

    බට‍හිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබා ගැනීමට පළමු‍වැනි වරට මේ වසරේ අපේ රජය තීන්දුවක් ගත්තා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එම තීරණය අනුමත කළා. ඒ ආයතනවල ගුණාත්මකභාවය පිළිබඳව අප ලබා ගන්නා සහතිකයක් එක්ක, ටෙන්ඩර්වලින් බැහැරව ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න අප කටයුතු කරගෙන යනවා. දේශීය බටහිර ඖෂධ කර්මාන්තය වැඩිදියුණු කිරීම, ඔවුන් ශක්තිමත් කිරීම සහ අපට නියම ප්‍රමිතියෙන් යුතු ඖෂධ කලට වේලාවට නොලැබීම වැනි කාරණා සියල්ල සැලකිල්ලට අරගෙනයි අප මෙම තීරණය ගත්තේ. විශේෂයෙන්ම දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන, මේ රටේ දේශීය ඖෂධ සමාගම් 17ක ඖෂධ වර්ග 34ක් -ඒවායේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලබාගෙන ඇති සහතිකත් එක්ක- අප අද ටෙන්ඩර්වලින් බාහිරව ලබා ගන්නවා.  මීට පෙර එවැනි දේවල් ක්‍රියාත්මක වුණේ නැහැ. බහුජාතික සමාගම් ලෝකයේ වෙනත් රටවල වාණිජ්‍ය සමාගම් දිහා තමයි බලාගෙන හිටියේ. ඒ නිසා පළමුවෙනි වතාවට බංගලිදේශ රජය සහ ශ්‍රී ලංකා රජයත්, ‍ලෝකයේ තවත් රජයන් අතරත් ගිවිසුමක් ඇති කර ගැනීම මේ වසරේ සිද්ධ වුණා. එය ඉතාම සාර්ථක, ඓතිහාසික අවස්ථාවක්. අප සියයට 80ක් පමණ බටහිර ඖෂධ ඉන්දීය රටෙන් ගෙනාවා. මේ ඖෂධ නියමිත ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතුව ලබා ගැනීම පිළිබඳව මීට පෙර කිසිම ආණ්ඩුවක් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර තිබුණේ නැහැ. නමුත්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මම පළමුවැනි වරට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළා. ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා, ඒ සෞඛ්‍ය බලධාරින්, ඖෂධ බලධාරින් සහ අපේ අමාත්‍යාංශයේ නිලධාරින් හමු වෙලා, ඖෂධ ලබා ගැනීමේදී අපට තිබෙන බොහෝ ගැටලු  නිරාකරණය කර ගත්තා. ඒ විධියට පියවරින් පියවර අප මේ කටයුතු කරගෙන යන බව ප්‍රධාන වශයෙන්ම මා සඳහන් කරන්න ඕනෑ.


    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍ය සේවාවන් තිබුණේ ප්‍රධාන වශයෙන්ම නාගරික ප්‍රදේශවල පමණයි. නමුත්, අද ඉතා ම සාර්ථකව ප්‍රාදේශීය සේවා ශක්තිමත් කර තිබෙනවා. ඒ අනුව ජනතාවට ඉතා ම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අද විශේෂඥ වෛද්‍යවරු ඈත පිටිසර රෝහල්වලත් සේවය කරනවා.


    නුවරඑළිය, හම්බන්තොට මහ රෝහල් අලුතින්ම ඉදි කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව කෙරීගෙන යනවා. මම කලින් සඳහන් කළා වරකාපොල, තෙල්දෙණිය සහ ගල්ගමුව රෝහල් පිළිබඳව. අද ලංකාවේ ඕනෑම රෝහලකට ගියොත් ඔබතුමන්ලාට පෙනේවි, ඒ හැම රෝහලකම නව ගොඩනැඟිල්ලක් ඉදි වීම, සැලසුම් කිරීම, අලුත් තාක්ෂණික උපකරණ ලැබීම වැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ කියලා. ඒ අනුව අප සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාම සාර්ථක අඩියක සිටින බව, හොඳ පදනමක් ඇතිව කටයුතු කරන බව ඉතා පැහැදිලිව පෙනෙනවා.


    නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න අප බොහෝ කටයුතු කරනවා. එක් පැත්තකින් භෞතික සම්පත් සංවර්ධනය, අනෙක් පැත්තෙන් මානව සම්පත් සංවර්ධනය, අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාපිත තත්ත්වයන් තුළ පළාත් සභා සමඟ දැඩි සුහදතාවය සහ මිත්‍රශීලිභාවයකින් අපි කටයුතු කරගෙන යනවා.  ඒ වාගේම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තිබෙන වෘත්තීය සමිති 106ක් සමඟ ඉතාම සුහදව කටයුතු කරමින් වෘත්තිය ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ ගැටලු සහ ප්‍රශ්න විසඳීමේ කටයුත්ත අපි කරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්.  නමුත් ඉතා පැහැදිලිව දැඩි සම්බන්ධතාවයකින් සහ සුහදතාවයකින් වෘත්තිය සමිති සමඟ අපි කටයුතු කරන්නේ.
     

    ඒ නිසා 2015 වසරේ අය වැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය තුළ ගෙවී ගිය දශකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධනයක් සමඟ පරිවර්තනීය, විප්ලවීය වෙනසක් සිදු වෙලා තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එය ඉදිරියටත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ගෙන යන බව ප්‍රකාශ කරනවා.


    HC/NDH

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya