සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනාගොඩ - පැලෑදගොඩ රණවිරු ගම්මානයේ මැද රවුම් පාර සංවර්ධනය ආරම්භ කෙරේ

    ජූලි 26, 2024

    මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හෝමාගම, පනාගොඩ - පැලෑදගොඩ රණවිරු ගම්මානයේ මැද රවුම් පාර සංවර්ධනය කිරීමේ කටයුතු ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ආරම්භ විය.

    ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් ඇතුළු සාමාජිකයින් වෙනුවෙන් වසර 25 කට පමණ පෙර ස්ථාපනය කරන ලද මෙම ගම්මානයේ මාර්ග ප්‍රතිසංස්කරණයක් පසුගිය කාලය පුරාවටම සිදුවී නොමැත. ඒ  හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනය ඉතාමත් දුෂ්කර තත්ත්වයට පත්ව තිබේ.

     මේ හේතුවෙන් ආබාධිත රණවිරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පත්ව තිබෙන දුෂ්කර තත්වය පිළිබඳව ප්‍රදේශයේ රණවිරු සුභසාධක සමිතිය මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කෙටි කලක් තුළ මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

     මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "ජූලි මාසය අපේ රටේ ඉතිහාසය තුළ සැලකුණේ නරක මාසයක් ලෙසයි. කළු ජූලිය, ජූලි කලබල වැනි හේතු මේ තත්ත්වයට පාදක වුණා. ඊයේ දිනය ලංකා ඉතිහාසයේ දැවැන්තම හැරවුම තීරණය කිරීම සඳහා 2048 දක්වා අනුගමනය කළ යුතු නීති රීති සියල්ල සම්මත කළ ජූලි මාසයේ දිනය ලෙස ඉතිහාසයට එක්වනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා සහ රටේ නායකයා වශයෙන් පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිලිබඳ පනත ලෙස පනත් දෙකක් ඉදිරිපත් කළා. ඉදිරියේදී බලයට පත්වන කවර ජනාධිපතිවරයකු, කවර රජයක් වුවත් 2048 දක්වා එහි සඳහන් නියමයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොකළහොත් සති දෙකකට, මාසයකට වඩා පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

     ඒ අනුව 2032 වන විට රටේ සමස්ත ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 95%ට අඩු කරන බවට රටක් වශයෙන්  ලෝකය ඉදිරියේ පොරොන්දු වී තිබෙනවා. කිසිදු රජයකට හිතුමතේ ණය ලබා ගැනීමට හැකියාවක් නැහැ. රටේ මුළු මූල්‍ය අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ඉක්මවිය නොහැකියි. ණය වාරික පොලී ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5 ඉක්මවිය නොහැකියි. සෑම වසරකම අයවැය ලේඛනය සැකසීමේදී ප්‍රාථමික ගිණුමේ 2.3%ක අතිරික්තයක් පැවතිය යුතුයි. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය 1%ට වඩා වැඩි කළ නොහැකියි. සෑම වසරකම ආර්ථික වර්ධන අනුපාතය 5%ක් හෝ ඊට වඩා වැඩියෙන් පවත්වාගත යුතුයි. රැකියා නොමැති අයගේ අනුපාතය 5% ට අඩුවෙන් පවත්වාගත යුතුයි. කාන්තා ශ්‍රම සහභාගිත්වය 40%ට වඩා වැඩි විය යුතුයි.  කිසිදු හේතුවක් මත මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමට හැකියාවක් නැහැ. රාජ්‍ය ආදායම් වර්ධනය කරගත යුතුයි.

    මෙම කරුණු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නීතියක් වශයෙන් සම්මත කරගන්නා අවස්ථාවේදී,  මීට පිටස්තර වැඩපිළිවෙලක් පැවතුණා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට හෝ ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයින්ට ඊට විරුද්ධව ඡන්දයක් ඉල්ලා සිටිමේ අවස්ථාව පැවතුණා. නමුත් කිසිවෙකුත් ඡන්දයක් ඉල්ලා නොසිටීම තුළින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ පක්ෂ පාට භේදයකින් තොරව ජාතිය විසින් ඉටු කරන බවට ප්‍රතිඥාවක් පාර්ලිමේන්තුවේදී ලබා දුන්නා.

    රටේ උපනූපන් පරම්පරාවල ජීවිත තීරණයය කරන පනත මේ ආකාරයෙන් සම්මත උනා. එම නිසා කවුරුන් කවර බොරු ප්‍රකාශ සිදු කළත් ජනවරමකින් නව රජයක් පත්ව මේ වෙනස් කරන බව ප්‍රකාශ කළහොත් එදිනට මුළු ලෝකයම අපව අත්හැර දමනවා. මේ නව වෙනසත් සමඟ "හෙට එච්චර කරුවලට නැති" රටක් බවට අපේ රට පත්ව තිබෙනවා. ඒ වැඩ පිළිවෙල තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම තුළින් රටේ සියලු පළාත්වල සංවර්ධනයද ඒ අනුව සිදු කළ හැකියි." යනුවෙනි.

    ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කෙරුණු මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහනට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන  නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya