අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය ගෙනියන්නේ අමූලික බොරුවක් Featured

    නොවැම්බර් 03, 2014

    විපක්ෂයේ එක එක්කෙනා කෑ කෝ ගැහුවත් විපක්ෂනායකවරයාටත් ජනාධිපතිවරණයක් ඕනෑ බවත් එතුමාටත් ජනාධිපති පදවිය ඕනෑ බවත් එමනිසා විපක්ෂය ගෙනියන්නේ අමූලික බොරුවක් බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    විපක්ෂ නායකතුමා පළපුරුදු දේශපාලනඥයෙක්. එතුමාගේ මාමණ්ඩි තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ, විධායක ජනාධිපති ධූරය ඇති කළේ. ඒ නිසා මම හිතනවා, එතුමාත්  කැප වෙලා ඉන්නවා, මේ  විධායක ජනාධිපති ධූරය ආරක්ෂා කරන්න, පෝෂණය  කරන්න, ඉදිරියට ගෙනියන්න. එහෙම කියලා අපට කියනවා, මේක අහෝසි කරන්නය කියා.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ පළමුවැනි දින විවාදයට එක්වෙමිනි. සභානායකවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.


    මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම අද ඉතාමත් ම සන්තෝෂ වෙනවා, විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ කථා කිරීමට ලැබීම සතුටට කාරණයක්.


    අපේ අතිගරු ජනාධිපතිතුමා සුවිශේෂී ජනාධිපතිවරයෙක්. එතුමා, මේ රටේ රාජ්‍ය නායකයෙක් බවට පත් වුණු ජනාධිපතිවරුන් අතරින් රටට ආදරය කරන, ඒ වාගේම රට වෙනුවෙන් සිය යුතුකම නිසි ලෙස ඉටු කරලා ත්‍රස්තවාදය මෙරටින් අතු ගා දැමීමට සිය දේශපාලන බුද්ධිය හා ධෛර්යය ඉතා හොඳින් ප්‍රදර්ශනය කරන ලද ජනාධිපතිවරයෙක්. එතුමා ජනාධිපති නොවූවා නම් මේ රටේ ත්‍රස්තවාදය තවමත් තිබෙනවා; තවමත් මේ රට දෙකඩ වෙලා.  දෙකඩ වෙන්නට ගිය රට ඒකීය රටක් බවට පත් කරමින්, මේ රටේ අනන්‍යතාව රැක ගනිමින් නොබෙදුණු ශ්‍රී ලංකාවක්, ඒකීය ශ්‍රී ලංකාවක් අපේ අනාගත පරපුරට දායාද කරන්නට එතුමා සුවිශේෂ වශයෙක් දායක වුණා.


    එපමණක් නොවෙයි. ත්‍රස්තවාදය අතු ගා දැමීමෙන් පසුව සීසීකඩ වෙලා තිබුණු අපේ රට, ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට වැටිලා තිබුණු අපේ රට, බෙදී වෙන් වුණු අපේ රට ඒකාබද්ධ කරලා, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා එතුමා සුවිශේෂී පියවර රාශියක් ගත්තා. එතුමා දිවා රෑ වෙහෙසුණා. අතිගරු ජනාධිපතිතුමා සමඟ ඉතාම ළඟින් සිටින ඇමතිවරුන් වශයෙන් අපි දන්නවා, එතුමා ඉතාම උදෙන් තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මම හිතන්නේ නැහැ, කොයි රටකවත් ජනාධිපතිවරයෙකුට ඒ රටේ සාමාන්‍ය පුද්ගලයකුට‍ දුරකථනයෙන් කථා කිරීමේ අවස්ථාව ලැබෙයි කියලා.
             

    මම දන්නවා, මගේ සමහර මිත්‍රයන් එංගලන්තය, ඇමෙරිකාවේ සිට පමණක් නොවෙයි, ඈත දුර බැහැර පළාත්වල ඉඳලා යම් යම් අඩුපාඩුකම් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට ප්‍රකාශ කරන බව. ඒ අය කියනවා, "මම ජනාධිපතිතුමාට උදේ කථා කළා. එතුමා gym එකේ හිටියේ. එතුමා telephone  එක ගත්තා. එතුමා ඒකට උත්තරයක් දුන්නා." කියලා.  මෙන්න මේ විධියට එතුමා ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී වූ, ජනතාව අතර ජීවත් වූ හා ජීවත් වන ජනාධිපතිවරයෙක් වශයෙන් මේ රටේ සුවිශේෂී ප්‍රතිරූපයක් හදා ගෙන තිබෙනවා.


    එපමණක් නොවෙයි, එතුමා අය වැය ලේඛනය සකස් කිරීමේදී ආර්ථික විද්‍යාඥයන්ගේ මතය විතරක් නොවෙයි ගත්තේ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ මතය විතරක් නොවෙයි ගත්තේ. ඒ සඳහා එතුමා වෘත්තීය සමිති, ස්වේච්ඡා සංවිධාන, ඇතුළු ජනතා සංවිධාන, ගොවි සංවිධාන ගෙන්වලා ඔවුන්ගෙන් ඇහුවා, ඔබට තිබෙන ප්‍රශ්න මොනවාද, ඔබගේ යෝජනා මොනවාද කියලා. ඒවා පිළිබඳව දීර්ඝ වශයෙන් පුළුල් සාකච්ඡාවන් පවත්වලා තමයි එතුමා අය වැය ලේඛනය සකස් කළේ. එහෙම බලන කොට ජනතාවට සවන් දෙන, ජනතා හඬට අවදි වන, ජනතා සිතුම් පැතුම් කෙරෙහි සංවේදී වන වෙනත් ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි වෙලා නැහැ. ඒ නිසා එතුමා නායකත්වය දෙන අපේ පක්ෂය පිළිබඳව අපට ඉතාමත් ආඩම්බරයි. එතුමා ලබා දෙන ඒ නායකත්වය තුළින් මේ රටේ ජනතාව ඒකරාශී කර ගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා  මේ වැය ශීර්ෂය යටතේ එතුමාට මුදල් ලබා දෙන්නට ඕනෑ. එතුමාට ඒ පහසුකම් ලබා දෙන්නට ඕනෑ. එතුමා කරන ඒ සේවාව තුළ එතුමා කොතැනටද නොයන්නේ.  ආගමික ස්ථාන, පාසල්, - දැන් බලන්න හල්දුම්මුල්ලේ නාය යාමේ සිද්ධිය සිදු වෙලා පැය කිහිපයකින් මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන්,  තමන්ගේ ආරක්ෂාව ගැන පවා හිතන්නේ නැතිව, අයහපත් කාලගුණයක් පවා පැවතියදී  හෙලිකොප්ටර් යානයෙන් එතුමා ගියා. ගිහිල්ලා ඒ ජනතාව මුණගැහුණා. ඔවුන්ට සහන දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙළවල් සකස් කර දුන්නා. එතුමා කම්මැලි රාජ්‍ය නායකයෙක් නොවෙයි. ශීත කාමරවල ඉන්න රාජ්‍ය නායකයෙක් නොවෙයි. එතුමා ජනතාව තුළට යන, ජනතාව සමඟ වැඩ කරන ජනතාවට සංවේදී වූ නායකයෙක්.


    එපමණක් නොවෙයි මට මතකයි,  එතුමා බලන්නට පස්සර මැතිවරණ කොට්ඨාසයේ පාසැලක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වගයක් ආවා.   ඒ වෙලාවේ දී එතුමා ඔවුන්ගෙන් ඇහුවා  ඔය අයට තිබෙන ප්‍රශ්නය මොකක්ද කියලා?  "ජනාධිපතිතුමනි අපේ පාසැලට එන, අපේ ගමට එන පාර හදලා නැහැ" කියලා කිව්වා. එතුමා ක්ෂණයකින්, පැය භාගයක් තුළ  ඒ පාර වහාම හදන්න ඕන කියලා නියෝගයක් කළා.  මේ විධියට  එතුමා දේශපාලනඥයන්ට පමණක් නොවෙයි,  මේ රටේ සාමාන්‍ය ජනතාවට, පාසැල් සිසු සිසුවියන්ට පවා ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සංවේදීව කටයුතු කළ නායකයෙක්.   ඒ සංවේදී ගුණාංග එතුමා තුළ තිබෙනවා.   එතුමා අද ජනප්‍රිය නායකයෙක් බවට පත් වෙලා තිබෙනවා.   ජනතාව ආදරය කරන නායකයෙක් බවට පත් වෙලා තිබෙනවා.  ඒ එතුමාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය වන මහින්ද චින්තන වැඩ පිළිවෙළ  නිසාම පමණක් නොවෙයි, ඒ එතුමා ජනතාව සමඟ තබා ගන්නා ලද සහ සම්බන්ධතාවය මතයි.  ඒක දේශපාලනඥයන් වන  අපටත් විශාල ආදර්ශයක්.   ජනතාව සමඟ පවත්වනු ලබන සහ සම්බන්ධතාවය නොමැතිව දේශපාලනඥයෙකුට වැඩි කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න බැහැ. එතුමා අද දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක් ගියේ මේ කියන සහ සම්බන්ධතාවය කඩා ගන්නේ නැතුව, බිඳ ගන්නේ නැතුව හැම වෙලාවේම එය රැකගෙන ඉදිරියට ගිය නිසායි.   මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි,  මේ ත්‍රස්තවාදය අවසන් කරන්න යන කොට එතුමාට එරෙහිව ජාතික තලයේ පමණක් නොවෙයි,  ජාත්‍යන්තර තලයෙන් මොන තරම් බලවේග ආවාද?   ඒක නවත්වන්න මොන වාගේ හදිසි බලවේග ආවාද? වෙන නායකයෝ නම් හතරට පහට නැවිලා ඒ සටන නතර කරලා, ඒ සටන පාවා දෙනවා.   නමුත් එතුමා ඒ සටන පාවා දුන්නේ නැහැ.  එතුමා කෙළින් හිටියා.  එතුමා විදේශ බලවේග ඉදිරියේ දණ ගැහුවේ නැහැ. එහෙම දණ ගහන්නේ නැතුව, රට වෙනුවෙන් නිර්භීතව වැඩ කටයුතු කළා.  එතුමා  ගත්ත තීරණ ආපස්සට ගත්තේ නැහැ.  ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තේ නැහැ.   ගරු සභාපතිතුමනි, එතුමාගේ ඒ ගුණය නිසා තමයි අද අපිට ත්‍රස්තවාදය අවසන් කරලා,  නිදහස්, නිවහල් ශ්‍රී ලංකාවක් බවට පත් වෙන්න පුළුවන් වුණේ.  එපමණක් නොවෙයි, එතුමා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය සඳහා පත් වෙන කොට ඊට එරෙහිව මොන තරම් විදේශ බලවේග ආවාද?  කැනඩාව විරුද්ධ වුණා.  බ්‍රිතාන්‍ය විරුද්ධ වුණා.


    නමුත් අධිරාජ්‍යවාදී රටවල් මොන තරම් වෙර දැරුවත් හදිසි බලවේග පරාජය කරලා එතුමාට පුළුවන්කම ලැබුණා එතුමාගේ පෞරුෂත්වය තුළින්, එතුමාගේ ශක්තිය තුළින්, එතුමාට රාජ්‍ය නායකයින් හා රටවල් දක්වන ගෞරවය තුළින් අප්‍රිකාණු මහාද්වීපය දිනා ගෙන, ආසියානු මහාද්වීපය දිනා ගෙන, ඕස්ට්‍රේලියාව වැනි රටවල් දිනා ගෙන, මැද පෙරදිග රටවල් දිනා ගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ සභාපති බවට පත් වෙලා අපේ ර‍ටට කීර්තියක් ලබා දෙන්න. ඒක එතුමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවෙයි. ශ්‍රී ලංකාව ලබා ගන්නා ලද ජයග්‍රහණයක්. මොකද, එතුමාට හැම වෙලාවේම තමන්ට ඉදිරියෙන් තිබුණේ රට. අපේ රට රකින්න, රටට ගෞරවයක්‍ ගෙනැවිත් දෙන්න, රට අභිමානයට ලක් කරන්න තමයි මහින්ද චින්තනය යටතේ එතුමාගේ හදවතේ රැදී තිබෙන දර්ශනය. ඒ නිසා අපි සන‍්තෝෂ වනවා, එතුමාට මැද පෙරදි‍ගින් කිසිම රාජ්‍ය නායකයෙකුට නොලැබෙන සම්මානයක් ලැබීම ගැන.


    මෑතකදී ලංකාවට චීන අගමැතිතුමා ආවා. ජපන් අගමැතිතුමා ආවා. ඒ ලෝකයේ විශාලම ආර්ථික තිබෙන රටවල් දෙකේ අගමැතිවරු. ඒ අය නිකම්, ආවට ගියාට එන්නේ නැහැ නේ. ඒ අය මේ රටේ මුහුදෙන් නාලා යන්න ආව අය නොවෙයි නේ. එවැනි බලවත් රටවල්වල නායකයින් අපේ රටට ගෙන්වා ගැනීමට පුළුවන් වුණේ අපේ රාජ්‍ය නායකයාට ඒ අය තුළ තිබෙන ගෞරවය සහ ඒ සහසම්බන්ධතාව තුළිනුයි. ඒක අපේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයක්, එතුමාගේ පෞරුෂත්වයේ ජයග්‍රහණයක් කියන එක අපි පිළිගන්න ඕනෑ. එම නිසා එතුමා හා සමාන කරන්නට, එතුමා සමඟ තරගවදින්නට, එතුමාට අභියෝග කරන්නට පුළුවන් කිසිම ජගතෙක් දැනට නම් අපට පෙනෙන්න නැහැ. මොකද, එතුමා අනෙක් නායකයින්ට වඩා‍ ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නේ. සෑම අංශයකින්ම එතුමා ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා අපි එතුමාට සුබපතනවා. එතුමා හොඳ අය වැය ලේඛනයක් ලබා දුන්නා. මේ රට ඉහළින් ඔසවා තැබුවා. මේ රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වාගේම සංවේදී නායකයෙක් වශයෙන් කරන්නට ඕනෑ වැඩකටයුතු සියල්ලම ඉෂ්ට කරලා දුන්නා. අපි එතුමාට ණයගැතියි. ඒ නිසා අපි එතුමාගේ අය වැය ලේඛනය, එතුමා සඳහා මුදල් වෙන් කිරීම අනුමත කරන්නේ ඉතාමත් සතුටින් බව ප්‍රකාශ කරන්න කැමැතියි.
     

    ඒ වාගේම අද අපේ  රනිල් වික්‍රමසිංහ මැතිතුමා කථාව පටන් ගන්නා අවස්ථාවේදී  මම හිතුවා, මේ විධායක ජනාධිපති ධුරය  අහෝසි කරන්න ඕනෑය කියන  කාරණය එතුමා කියාවිය කියා. මේක තමයි  ඒක කියන්න තිබුණු හොඳම වෙලාව. එතුමා ඒ ගැන වචනයක්වත් කිව්වේ නැහැ.  ජනාධිපතිවරණයක්  කැඳවන්න අයිතිය තිබෙන්නේ ජනාධිපතිතුමාට තමයි කියා එතුමා කිව්වා. ඒ නිසා එතුමාගෙන් ඒ ගැන කිසිම  ප්‍රශ්නයක් නැහැ. විපක්ෂයේ එක එක්කෙනා කෑ කෝ ගැහුවත්  එතුමාටත් ජනාධිපතිවරණයක් ඕනෑ. ජනාධිපති පදවිය එතුමාටත් ඕනෑ. ඉතින් ඒක නිසා විපක්ෂය ගෙනියන්නේ අමූලික බොරුවක්. විපක්ෂ නායකතුමා කියනවා,  ඒක ජනාධිපතිතුමාට තිබෙන බලයක්ය; එතුමාට තමයි ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්  කියා.  අඩු ගණනේ ඒකට විරුද්ධ වෙනවාය කියාවත් එතුමා කිව්වේ නැහැ. එතුමාට මේ වෙලාවේ  ජනාධිපතිවරණයක් කැඳවන්න බැහැ කියා කිව්වේත් නැහැ. මම හිතන්නේ හොඳ  ප්‍රවනතාවක් තිබෙනවා. එතුමා අපේ ස්ථාවරය, මේ රජයේ ස්ථාවරය   පිළිඅරගෙන තිබෙනවා. අපේ ජනාධිපතිතුමාට   ජනාධිපතිවරණයක් කැඳවන්නට බලය තිබෙන බව අද විපක්ෂ නායකතුමාගේ කථාවෙන් තහවුරු කර  තිබෙනවා.  ඒ නිසා ඒ ගැන සැකයක් නැහැ. එක එක්කෙනා සැක ඇති කරන්න ගියත්, විපක්ෂ නායකතුමා පළපුරුදු දේශපාලනඥයෙක්. එතුමාගේ මාමණ්ඩි තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ, විධායක ජනාධිපති ධූරය  ඇති කළේ. ඒ නිසා මම හිතනවා, එතුමාත්  කැප වෙලා ඉන්නවා, මේ  විධායක ජනාධිපති ධූරය ආරක්ෂා කරන්න, පෝෂණය  කරන්න, ඉදිරියට ගෙනියන්න. එහෙම කියලා අපට කියනවා, මේක අහෝසි කරන්නය කියා.


    ඊළඟට, එතුමා මැතිවරණ  දෙපාර්තමේන්තුව ගැන කථා කළා. අපේ මැතිවරණ කොමසාරිස්තුමා ගැන කථා කරනකොට මම කියන්න ඕනෑ, විපක්ෂයට නොවෙයි ආණ්ඩුවට තමයි  අවාසි  සිද්ධ  වුණේ කියන එක. නමුත් අපි එතුමා එක්ක උරණ වෙන්නේ නැහැ.  පහුගිය ඌව පළාත් සභා  මැතිවරණයේදී   මැතිවරණ කොමසාරිස්තුමාගේ නියෝජිතයෝ  දෙන්නෙක් මගේ ගෙදරටත් ආවා.  ඇවිල්ලා කිව්වා, අර රැස්වීම නවත්වන්නය කියා. මම ඇහුවා, "මොන බලයක් අනුව ද රැස්වීම නවත්වන්නය කියන්නේ?" කියා. "මම මගේ ඡන්ද නියෝජිතයන්ට උපදෙස් දෙන රැස්වීම ඔබතුමා කොහොමද නවත්වන්නේ? මොන නීතියක් යටතේ ද?"  කියා මම ඇහුවා. එහෙම ඇහුවාය කියා මම අපේ  මැතිවරණ කොමසාරිස්තුමා සමඟ උරණ වෙන්නේ නැහැ. එතුමා තමන්ගේ රාජකාරිය උපරිම මට්ටමෙන් ඉටු  කිරීමට කටයුතු කළා. එතුමා නොවෙයි, එතුමාගේ සමහර නිලධාරින්  විපක්ෂයට වාසි වෙන විධියට තමයි ඒ වැඩ කටයුතු කළේ.  


    ඒ කාරණයත් කියන්න ඕනෑ. එතුමා අපක්ෂපාතී වුණත් එතුමාගේ නිලධාරිනුත් දැන ගන්න ඕනෑ, මේ අපක්ෂපාතීභාවය හැමදෙනාටම එක විධියට දක්වන්න. එදා විපක්ෂයේ රැස්වීම් නවත්වන්න කිව්වේ නැහැ, ඒ පෙළපාළි නවත්වන්න කිව්වේ නැහැ, ප්‍රචාරක වාහන නැවැත්වූවේ නැහැ. එවැනි අඩු පාඩු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ මැතිවරණ කොමසාරිස්තුමාට වග කියන්න කියලා අපට කියන්න බැහැ. එතුමා බොහොම සද්භාවයෙන් තමන්ගේ රාජකාරි ඉටු කිරීමට විශාල ප්‍රයත්නයක් දැරුවා. අපි එය අගය කරනවා. අපි කවදාවත් එතුමාට අවහිර කළේ නැහැ. එය තමයි අපේ දේශපාලන සදාචාරය, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.


    අපේ කාරක සභාව තුළදී, ව්‍යවස්ථා හා අනිකුත් සංශෝධනවලදී මැතිවරණ ප්‍රචාරණය පිළිබඳව අපට සාකච්ඡා කරන්න සිදු වනවා. සාමාන්‍ය දුප්පත් මන්ත්‍රීවරයකුට පුළුවන්ද, මාධ්‍ය ආයතනවලට රුපියල් කෝටි ගණන් දීලා තමන්ගේ ප්‍රචාරණ කටයුතු ගෙන යන්න? ඒ තුළින් වාසි ලැබෙන්නේ මාධ්‍ය ආයතන උදවු කරන මැති ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට පමණයි. එවැනි කටයුතු ඌව පළාත් සභා මැතිවරණයේදී සිද්ධ වුණා. සමහර මාධ්‍ය ආයතන නොමිලයේ එක් එක් අපේක්ෂකයන් පිම්බුවා. පිම්බුවා විතරක් නොවෙයි, ඒ අයත් එක්ක ගිවිසුම් පවා ගැහුවා. සාමාන්‍යයෙන් මුදල් හදල් නැතිව දේශපාලනයට එන, දේශපාලනයේ වැඩ කටයුතු කරන අයට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන්න අපේ මැතිවරණ නීති ප්‍රචාරණය පිළිබඳව දැන් කාලය පැමිණ තිබෙනවා. ඒ අය පෝස්ටරයක් ගැහුවොත් එය ගලවා දමනවා. හැබැයි ටී.වී. එකේ දැන්වීමක් ප්‍රචාරණය වුණොත් එය නවත්වන්නේ නැහැ. සල්ලි දීලා උදේ සවස ටී.වී. එකේ ප්‍රචාරණය කරන්න පුළුවන් අය ඉදිරියට යනවා. පෝස්ටරයක් ගහන දුප්පත් අපේක්ෂකයා පස්සට යනවා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. මේවා ගැනත් අපි කල්පනා කරන්න ඕනෑ. There is no equal level field.  Playing field එක්ක නැහැ. සල්ලි තිබෙන අයට උඩින් හයේ පහරවල් ගහන්න පුළුවන්. සල්ලි නැති අයට out වෙන්න සිද්ධ වනවා. එහෙම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තිබෙන්නේ. පළාත් සභා ව්‍යවස්ථාවත් එහෙමයි හදලා තිබෙන්නේ. අපේක්ෂකයාගේ පවුලේ අයට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැහැ. මා හිතන හැටියට මේ තිබෙන අඩු පාඩුකම්, මැතිවරණ නීතියේ තිබෙන අඩු පාඩුකම් මැතිවරණ කොමසාරිස්තුමාත් විවිධ අවස්ථාවලදී පෙන්වා දීලා තිබෙනවා.


    එතුමාට ක්‍රියා කරන්න සිදු වෙලා තිබෙන්නේ දැනට පවතින මැතිවරණ නීති රීති ක්‍රමය තුළයි කියා එතුමා කියා තිබෙනවා. ඒ නිසා අපි ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු කාරක සභාව තුළ -අපේ කාරක සභාව තුළ- මේ පිළිබඳව වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගන්න ඕනෑ.


    තැපැල් ඡන්දය අරගෙන බලන්න. වෛද්‍යවරයාට තැපැල් ඡන්දයක් නැහැ; නර්ස් නෝනාට තැපැල් ඡන්දයක් නැහැ. Ambulance රියැදුරාට තැපැල් ඡන්දයක් නැහැ. තැපැල් ඡන්දය දීමේ ක්‍රම වේදය සම්බන්ධයෙන් ඒ පනතේ අඩු පාඩුකම් රාශියක් තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය වඩාත් ජනතා හිතවාදි වන මැතිවරණ ක්‍රමයක් බවට පත් කරගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම පිළිබඳව ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් සියලුදෙනා සාකච්ඡා කරලා යම් නිගමනයකට පැමිණිය යුතු කාලය එළඹ තිබෙනවා කියා මම විශ්වාස කරනවා.


    අපේ ගරු ජෝන් අමරතුංග මන්ත්‍රීතුමා -මගේ මිත්‍රයා- කිව්වා ස්වාධීන කොමිෂන් සභා ගැන. හැමදාම කියනවා ස්වාධීන කොමිෂන් සභා ගැන. ස්වාධීන මිනිසුන් කොහෙන්ද සොයන්නේ? කොමිෂන් සභාවක් පත් කරන කොට කියනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරයකු පත් කරන්න ඕනෑ ආදි වශයෙන්. ඒ අය අතුරින් තමයි අපි විනිශ්චයකාරවරුන් තෝරාගන්න ඕනෑ. පත් කළාට පස්සේ කියනවා, "මේ අය ස්වාධීන නැහැ." කියලා. යම් යම් නිර්ණායක දී තිබෙනවාද, ස්වාධීනයි කියන මිනිසුන් සොයන? පේන බලන ක්‍රමයක් තිබෙනවාද, "මොහු ස්වාධීනද, නැද්ද?" කියා සොයා බලන? එහි වගකීම තිබෙන්නේ කොමිෂන් සභාවල නිල තල ගන්නා උදවියටයි. නිල තල ගන්නා උදවිය දැනගන්න ඕනෑ ස්වාධීන වෙන්න. අපට ඒ අය ස්වාධීන කරන්න බැහැ. ඔවුන් කෙරෙහි විශ්වාසය තබලා යම් කොමිෂන් සභාවකට පත් කළා නම් ඒ කොමිෂන් සභාව තුළ ගන්නා තීරණ දේශපාලන බලපෑම්වලින් තොර වුණු, පෞද්ගලික බලපෑම්වලින් තොර වුණු තීන්දු බවට පත් කිරීමේ වගකීම ඒ පුද්ගලයන්ට තිබෙනවා. එවැනි පුද්ගලයන් බිහි වන්න ඕනෑ. ඔවුන් ආදර්ශවත් වෙන්න ඕනෑ. ඔවුන් නිවැරැදි තීන්දු ගන්න ඕනෑ. ඒක ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ නැහැ ආණ්ඩුවට ඕනෑ විධියට තීන්දු ගන්න කියලා. පෞද්ගලිකව අපට ඕනෑ විධියට තීන්දු ගන්න කියලා කියන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා අවසානයි. ඒ කොමිෂන් සභා තිබෙනවා. නමුත් කොමිෂන් සභාවලට පත් වන අය ස්වාධීන තීන්දු ගත්තා නම් ඒ කොමිෂන් සභා වඩාත් වර්ණවත් වෙනවා, වඩාත් බැබළෙනවා කියලායි මා හිතන්නේ. එසේ ප්‍රකාශ කරමින් මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.  


    සැකසුම: හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි / නිරංජලා දිල්රුක්ෂි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya